ceylonlknews.com

Ceylon Lk News

Home ව්‍යාපාර ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර සඳහා වන ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන දියත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර සඳහා වන ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන දියත් කරයි

by
0 comments

“ඩිජිටල් ගනුදෙනු තුලින් අනාගතය හැඩගන්වමු” යන තේමාව යටතේ 2025 වසර සඳහා වන ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් 2025 ජනවාරි 9 වන දින හම්බන්තොට මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතා, බැංකු, මූල්‍ය ආයතන සහ විදුලි සංදේශ සේවා සපයන්නන්ගේ සහාය ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරීන්, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ මහජනතාව විශාල පිරිසක් සහභාගී වූහ.

රටේ ආර්ථික සංවර්ධනය ළඟාකරගැනීමට සහ පුරවැසියන්ගේ ජීවන තත්ත්වය නංවාලීමට නවීන තාක්ෂණය සහ ඩිජිටල් ගෙවීම් මගින් සිදුකරන වැදගත් කාර්යභාරය අධිපතිතුමා විසින් සිය කතාවේදී අවධාරණය කරන ලදී. එසේම රාජ්‍ය ආයතන, ව්‍යාපාර සහ මූල්‍ය ආයතනවල සහභාගීත්වයෙන් ඩිජිටල් ගෙවීම් මහජනතාව අතර ජනප්‍රිය කිරීමේ වැදගත්කම ද එතුමා විසින් අවධාරණය කළේය. රැස්ව සිටි පිරිස අමතා බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතා විසින් සමාජයේ සියලු දෙනාටම පහසුවෙන් සේවාවන් ලබා ගැනීමට හැකි වන පරිදි මූල්‍ය ආයතන සිය ක්‍රියාවලීන් සහ තාක්ෂණික මෙවලම් සරලව ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය ඉස්මතු කරන ලදී. දිවයින පුරා පැවැත්වීමට බලාපොරොත්තු වන මෙවැනි දැනුම්වත් කිරීමේ වැඩසටහන් මගින් රටේ සියලුම පුරවැසියන්ට ඩිජිටල් ගෙවීම්වල ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව ලබාදීමත් ඒ හරහා දුරස්ථ ප්‍රදේශවල මූල්‍ය අන්තර්ගතභාවය ඉහළ නැංවීම සිදුවන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ජේ. පී. ආර්. කරුණාරත්න මහතා ප්‍රකාශ  කරන ලදී.

බැංකු, මූල්‍ය ආයතන, විදුලි සංදේශ සමාගම් වැනි විද්‍යුත් මුදල් සේවා සපයන්නන් සහ ජංගම ගෙවීම් යෙදුම් සපයන්නන් විසින් මෙම අවස්ථාවේදී ඩිජිටල් ගෙවීම් යෙදුම් (payment apps) සදහා ලියාපදිංචි වීමට මහජනතාවට පහසුකම් සැලසූ අතර, වේගවත්ව, ආරක්ෂිතව, අඩු වියදමකින් සහ පහසුවෙන් දෛනික අවශ්‍යතා සඳහා ගෙවීම් කටයුතු සිදු කිරීමේ ක්‍රමයක් වන LANKAQR ගෙවීම් ක්‍රමය භාවිතා කරමින් එම ස්ථානයේ සිටි වෙළෙඳුන්ගෙන් භාණ්ඩ මිලදී ගැනීම සඳහා තම ජංගම දුරකථන භාවිතා කරන ආකාරය පිළිබඳව මහජනතාව වෙත ප්‍රායෝගික අත්දැකීමක් ද ලබා දෙන ලදී.

ඩිජිටල්කරණය තුළින් තිරසාර සහ මූල්‍ය අන්තර්ගතභාවය සහිත ආර්ථික වර්ධනයක් ළඟාකරගැනීම සඳහා වූ රජයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් උපාය මාර්ග සැලැස්මට අනුකූලව, ඩිජිටල් ගෙවීම් සදහා දිවයින පුරා සිටින මහජනතාව අනුගත කර ගැනීම වේගවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දියත් කරන ලද වැඩසටහන් මාලාවක පළමුවැන්න මෙම වැඩසටහනයි.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00