ceylonlknews.com

Ceylon Lk News

Home විශේෂාංග සිලෝන් මිල්ටරි පොලීසියේ දෙවන ලෝක යුද සමයේ විස්කම් පෑ බටුවිට වලගේ හේරත් සිංඤෝ

සිලෝන් මිල්ටරි පොලීසියේ දෙවන ලෝක යුද සමයේ විස්කම් පෑ බටුවිට වලගේ හේරත් සිංඤෝ

by CeylonLk
0 comments

සටහන..අරුනඩෙල් විජේරත්න

හේරත් සිංඤෝ එකල පුහුල්වැල්ල ප්‍රදේශයේ සිටි ජනප්‍රිය චරිතයක්…ඔහු කා අතරත් ජනප්‍රිය වූයේ රසකතා කරුවෙකු ලෙස හා ඔහුගේ ගාම්භීර පෙනුම නිසායි…ඔහු තරුණ නාබර වයසේම සිලෝන් මිල්ටරි පොලීසියට බැදී දෙවන ලෝක යුද සමයේ සේවය කර ඇති තැනැත්තෙකි..අධිරාජ්‍යවාදී සුදු හමුදා ව වෙතින් මනා හමුදා පුහුණුවක් හා විනයක් හා පිලිවෙළකට වැඩ කිරීමේ පුහුණුව ලැබීමෙන් හමුදා වෙන් ඉවත් වී සිවිල් පුරවැසියකු ලෙස සමාජයේ කටයුතු කිරීමේදී විනයගරුක තේජාන්විත චරිතය ක් විය…ඔහු මිය යන තුරු ඇගලාගත් කමිස පවා හමුදා සාමාජිකයන් ගේ කමිස වලට සමාන කමීස යක් විය…ඔහුගේ ජීවිතය හි සැදෑකල එනම් මා පාසල් සිසුවෙකු ලෙස සිටි සමයේ ඔහුගේ කියුම් කෙරුම් පුරසාරම් ඇසීමට දැඩි කැමැත්තක් දැක්වීය…යුදහමුදාවෙන් ඉවත්වූ පසු ගමේ දක්ෂ පෙදරේරුවකු ලෙස කටයුතු කළ ඔහු සිය රාජකාරි නිමවා සවස දිනපතා පුවත්පත් බැලීමට පුහුල්වැල්ල මහ විදුහල අසල ඩග්ලස් දේවසුරේද්‍ර අයියාගේ පන්සල වත්ත කඩයට හෝ ඒ අසල කලු මහත්තයා ගේ කඩයට යෑමට පුරුද්දක් කර ගෙන තිබුණි …එම කඩ වලට පැමිණෙන තරුණ පිරිස් වට කරගෙන ඔහුගේ තරුණ කළ කියුම් කෙරුම් රස කර පැවසීමට ඔහු ප්‍රිය කළේය …කිසිවකු මුල පුරණ පැරණි රසාංග වලට තම දෙවන ලෝක යුද සමයේ හමුදා අත්දැකීම් හා පසුව සිවිල් ජීවිතය හි ඔහු මුහුණ දුන් ජීවිත අත්දැකීම් එහි සිටි පිරිස් වෙත රස කර කියයි…

බටුවිට වලගේ හේරත් සිංඤෝ උපන් ගම වූයේ යටියන බටුවිටයි…බටුවිට විසු දක්ෂ ගොවි මහතෙකු වූ බටුවිට වලගේ බාලාඅප්පුහාමි ඔහුගේ පියාය..මව පීජී හින්නීහාමිය…ජාතික හැදුනුම්පත අනුව ඔහු ඉපදී ඇත්තේ 1921 .05.19 දිනයි…නමුත් ඔහුගේ පුත් සිරිසේන මහතා පවසන්නේ තම පියා 1915 උපන් බවට තමාට පවසා ඇති බවයි…යටියන පාසලින් අධ්‍යාපනය ලැබූ හේරත් සිංඤෝ ඔහු තරුණ වයසට එළබීමත් සමගින් එදා සුදු අධිරාජ්‍යවාදීන් ලෝක යුද්ධයකට පැටලී සිටියේය ..තම යටත් විජිත වලින් තම හමුදා වල සාමාජිකයන් බදවා ගැනීමේ වැඩ පිලිවෙලක් එකළ පැවැත්විණි ..ශ්‍රීලංකාවේ තරුණ යන්ට සිලෝන් මිල්ටරියට බැදීමට එකළ රට පුරා ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගියේය …එකළ හැම ගමකින්ම තරුණයන් සිලෝන් මිල්ටරියට එක්විය…බටුවිට ගමේ හේරත් සිංඤෝ සිලොන් මිල්ටරි පොලීසියට එක් විය..එහිදී මනා හමුදා පුහුණුව ක් විනය ලබා ගැනීමට හේරත් සිංඤෝ ට හැකිවිය…මෙසේ සිලෝන් මිල්ටරියෙන් පුහුණුව ලැබූ ඇතැම් ලංකාවේ හමුදා සාමාජිකයන් ඔවුන්ගේ යටත් විජිත ලෙස පැවැති ලොව නොයෙකුත් රටවල සේවය සදහා පිටත් කර යැවීය….බුරුමය..සිංගප්පූරුව ..මලයාසියාව …කුක් දූපත් ඇතුළු නොයෙක් රට වල සේවයේ යෙදවීය…ලංකාවේ සේවයට අප්‍රිකානු කැනඩා ඔස්ට්‍රේලියානු හා එංගලන්තයේ හමුදා සාමාජිකයන් යෙද වීය…හේරත් සිංඤෝ ට සුළු කළකට නැව් නැග සිංගප්පූරුව හා බුරුමයේ සේවය ට යෑමට අවස්ථාව ලැබී තිමේ…

1945 දෙවන ලෝක යුද්ධය අවසාන වීමත් සමග අධිරාජ්‍යවාදී හමුදා වේ සිටි ලංකාවේ තරුණ යන්ට ඉන් ඉවත් වීමට අවස්ථාව ලබා දුනී..මෙසේ ඉවත් වන හමුදා සාමාජිකයන් ට සිය ජීවනෝපාය ලෙස විවිධ වෘත්තීයන් ගේ පුහුණුවක් ද ලබා දුනී ..වඩු වැඩ මේෂන් වැඩ ඇතුළු නොයෙකුත් ජීවනෝපාය මාර්ග පුහුණු කළේය …ඇතැම් සාමාජිකයන් ට ඩී එස් සේනානායක මහතාගේ නව ගොවිජන පද ව්‍යාපාර වල වී ගොවිතැන කීරීමට කුබුරු ඉඩම් ලභා දුනි.හමුදා පුහුණුවක් ලැබීම නිසා ඔවුන්ට ඒ නව ගොවිජන පදවල ගම්මුලාදෑනි තනතුරු ද ලබාදුන්නේ ය…

හේරත් සිංඤෝ ගොවිජන ව්‍යාපාර වල පදිංචියට යෑම ප්‍රතික්ෂේප කර පුහුල්වැල්ල ගමට ඇවිත් ලෑබූ පුහුණුව අනුව පෙදරේරු වෘත්තිය තෝරාගත්තේය…ඔහු කලක් දෙනියාය ප්‍රදේශයේ තේවතු වල වැඩ අධීක්ෂකවරයකු ලෙසද කටයුතු කළේය ….

හේරත් සිංඤෝ පුහුල්වැල්ල පදිංචියට එන්නේ තම බිරිය ගේ ගෙදර පදිංචියට .. ඔහු විවාහ වූයේ පුහුල්වැල්ල මීගස්දෙනිය ගෙදර ජේරී මැණික් හාමි තරුණිය සමග ඇය ඔහුගේ ඇවැස්ස නෑනා …

මේ යුවළ ට දරුවන් පස්දෙනෙකු සිටිනවා …ගොවිතැන් කරමින් හා පෙදරේරු වෘත්තීය කරමින් තම දරු පවුල රැක්ක හේරත් සිංඤෝ ගේ වැඩිමහල් දියණිය වූයේ 1940 උපන්න බටුවිට වලගේ ලීලාවතී ..පවුලේ දෙවැන්නා 1946 උපන්න බටුවිට වලගේ ප්‍රේමදාස …පවුලේ තුන්වැන්නා බටුවිට වලගේ චන්ද්‍රදාස ඔහු අතුරුගිරිය ප්‍රදේශයේ ජීවත් වෙනවා .හතරවෙනියා බටුවිට වලගේ සිරිසේන ඔහු ගමනාගමන මණ්ඩලයේ සේවය කර දැන් විශ්‍රාම ලබා පුහුල්වැල්ල මහවිදුහල අසල ගුරුගෙදර චාන්දනී නිවසේ දරුපවුල සමගින් වාසය කරනවා ..හේරත් සිංඤෝ මිය යනතුරු ජීවත් වුයේ ඔහු සමගින්…

පවුලේ බාලයා බටුවිට වලගේ නන්දසේන ……

යුද සේවයේ නිරත වී සිටි සමයේ තමා ඉදිරියට පැන්න දරුණු කොටියෙකු සමගින් පවා තනියම පොරබදා මෙල්ල කළ හේරත් සිංඤෝ රසකතා රැසක් අපගේ මතකයේ රදවමින් 2000වසරේ පෙබරවාරි 18 වැනි දින හේරත් සිංඤෝ අප අතරින් සමු ගන්නවා ….

කොකස් දූපතේ සිංහල කැරැල්ල

දෙවනි ලෝක යුද්ධයේ කොකොස් දිවයිනේ ලාංකික සෙබළු 56 දෙනෙක් සේවය කළ අතර ඔවුන් හැඳින්වුණේ සිලෝන් ගැරිසන් ආටිලරි නමින්. එය කාලතුවක්කු ඒකකක්. කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ කපිතාන් ජෝර්ජ් ගාඩිනර් කටයුතු කල අතර මෙම හමුද‌ා ඛණ්ඩය යටතේ මිලිමීටර් 152 හා 222 කාලතුවක්කු අවි දූපතේ සවිකර තිබුණා.

1848 අරගලයෙ අවාසනාවන්ත අවසානයත් එක්ක ඉංග්‍රීසීන්ට එරෙහිව මෙරට සිංහලයන් අසිපත් එසවූ යුගය අවසන් වෙනවා. ඒ වෙනුවට දේශපාලනික ව්‍යාපාර ඔස්සේ දේශයේ නිදහස වෙනුවෙන් සටන් කරන්නට මෙරට උගතුන් වෙහෙසෙනවා. දේශපාලන ප්‍රතිසංස්කරණ එක්ක ලංකාවෙ තත්වය යම් තරමකට සමනය වෙද්දි, බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට බැදීමේ වරම ලාංකික තරුණයන්ටත් හිමි වෙනවා. මේ පිරිස එසේ එක් වූ තරුණයන් පිරිසක්.

මෙසේ හිරු නොබසින අධිරාජ්‍යයයේ රාජකීය හමුදාවට බැඳෙන ලාංකික තරුණයන්ට පළමු හා දෙවනි ලෝක යුද්ධයන්හි දී විදේශීය සටන් පෙරමුණු වල, බ්‍රිතාන්‍යය රජය නියෝජනය කරමින් සටන් කරන්නට සිදු වෙනවා. ක්‍රි.ව. 1939 සැප්තැම්බර් මස සිට ක්‍රි.ව. 1945 අගෝස්තු දක්වා පුරා වසර හයක් පුරා ඇමරිකාව, බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර පක්ෂයත්, ජර්මනිය සහ ජපානය ප්‍රමුඛ අක්ෂ පක්ෂයත් අතර සිදු වුණ දෙවනි ලෝක මහා සංග්‍රාමයට එවකට සිලෝන් නමින් හැදින්වූ මෙරටටද බ්‍රිතාන්‍ය යටත්විජිතයක් ලෙස සුවිශේෂී දායකත්වයක් ලබා දෙන්න සිදු වෙනවා.

ඉන්දියන් සහ පැසිපික් සාගරයන්හි බ්‍රිතාන්‍ය බලයට දැඩි ප්‍රහාරයක් එල්ල කලේ ජපන් හමුදා විසින්. ඒ නිසාවෙන් ලංකාවට දකුණින් පිහිටි කුඩා දූපත් සියල්ලන්ගෙහිම පාහේ හමුදා කඳවුරු පිහිට වීමට බ්‍රිතාන්‍යයන් කටයුතු කළා. ලංකාවත් ඕස්ට්‍රේලියාවත් අතර මැද පැසිපික් සාගරයේ පිහිටි කොකස් දූපතද එසේ හමුදා අනුකණ්ඩයක් රඳවා තැබූ දිවයිනක්.

කොකොස් දූපත , කීලින් දූපත ලෙසද හඳුන්වන මෙම දූපත් රාජ්‍යය වර්ග කිලෝමීටර් 14 ක විශාලත්වයෙන් යුතු දූපත් සමූහයක්. එයට දූපත් කොරල් පර මගින් සෑදුණු දිවයින් 27 ක් පමණ අයත් වෙනවා. එයට සැතපුම් 600 ක් නැගෙනහිර දෙසින් ක්‍රිස්මස් දූපත පිහිටනවා. ක්‍රිස්මස් දූපත දෙවනි ලෝක යුද්ධයෙදී ජපන් හමුදා අතට පත් වුණත් කොකස් දූපත ජපනුන් අතට අත් වීමේ ප්‍රයත්නය ව්‍යර්ථ වුණේ ලංකා ඉතිහාසයටත් වැදගත් සිදුවීමක් ලියවමින්.

මෙම කාලය වන විට ජපාන හමුද‌ා සිංගප්පූරුවේ තිබූ බ්‍රිතාන්‍ය හමුදා මූලස්ථානය අල්ලාගන්නට සමත් වුණා. මේ නිසා ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර මුහුදු ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය නාවික ගමනාගමනයට විශාල තර්ජනයක් එල්ලවී තිබුණා. ඕස්ට්‍රේලියාවට වයඹ දෙසින් තිබූ කොකෝස් දූපත් රැකගැනීම බ්‍රිතාන්‍ය නාවික යාත්‍රා සඳහා වැදගත් වූ අතර එම දුපත් අල්ලා ගැනීම ජපානයට වැදගත් වුණා. ඒ වගේම මේ කාලය තුල කොකස් දූපතේ පරිපාලනය සිලෝන් නමින් හැඳින් වූ ලංකාව හරහා සිදු වෙනවා.

කොකොස් දූපතේ බ්‍රිතාන්‍යයන්ට එරෙහිව සිදු වූ කැරැල්ලේ නායකත්වය ගන්නේ බොම්බඩියර් වතුමුල්ලගේ ග්‍රේෂන් හර්බට් ප්‍රනාන්දු නම් තරුණ හමුදා සෙබලෙකි. ඔහු කොළඹට නුදුරු සිංහල බෞද්ධ පවුලක උපත ලබා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවෙකි. ඔහු මෙරටදී සමාජවාදී දේශපාලනයේ ආභාෂය ලැබූවෙකි.

ඔහු පළමුව සීෂෙල්ස් දිවයිනටත්, දෙවනුව

කොකෝස් දූපත්වලටත් පිටත් කර යවා ඇත. අධිරාජ්‍ය විරෝධී අදහස් වලින් පෝෂණය වූ ප්‍රනාන්දු තම සේනාංකයේ සගයන් පනස් හය දෙනාගෙන් 30 දෙනකු තම අදහස් කෙරෙහි නැඹුරු කර ගන්නට සමත් විය. එහි අවසානය වූයේ ඔවුන් කැරැලිගසා බ්‍රිතාන්‍යයන්ගෙන් කොකස් දිවයින නිදහස් කරගැනීමට සටනක් සැලසුම් කිරීම ය.

1942 මැයි 8 වැනිද‌ා රාත්‍රී 8.30 වද්දී ඔවුන්ගේ සැලසුම් ක්‍රියාත්මක වන්නට විය. දිවයිනේ රඳවා සිටි ලංකා ගැරිසන් කාලතුවක්කු ඛණ්ඩයේ සෙබළුන් 56 දෙනාගෙන් 30 දෙනෙක්, සුළු අවි ගෙන බ්‍රිතාන්‍යයන්ට එරෙහිව සටන ආරම්භ කළේ ය.

ඔවුන්ගේ අරමුණ වුණේ කොකස් දිවයින බ්‍රිතාන්‍යයේ පාලනයෙන් ඉවත් කර ජපානයට භාරදීම ය. අණදෙන නිලධාරියා වූ ගාඩිනර් අත්අඩංගුවට ගෙන කාලතුවක්කු වෙඩි මගින් ඒ අසල තිබූ ජපානයට අයත් ක්‍රිස්මස් දූපතට තම කැරැල්ල දැනුම්දීමට ඔවුන් සැලසුම් කර තිබූ බව පසුව හෙළිවිය.

නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කරමින් බ්‍රිතාන්‍ය රජයට පක්ෂපාති තවත් ලාංකික සෙබලුන් පිරිසක් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් දියත් කළේ ය. එහිදී කැරලිකරුවන්ට එරෙහි හමුදා කණ්ඩායමේ සබලෙකු වූ සමාරිස් ජයසේකර කැරළිකරුවන් තැබූ වෙඩි පහරක් වැදී මියගියේය. දූපතේ දෙවැනි නිලධාරියා වූ ලුතිනන් ස්ටෙෆන්ස් ද තුවාල ලැබීය.

කැරලිකරුවන් කාලතුවක්කු තමන් යටතට ගන්නට උත්සාහ කලද මේ වන විට එය පරාජය කර තිබිණ. මේ නිසා රැය පහන් වන විට කැරැල්ල ලාංකික සෙබළුන්ගේ පරාජිත අවසානය තීන්දු වී තිබුණේය.

කැරලි නායකයා වූ ප්‍රනාන්දු යටත්වීමේ කොන්දේසියක් ලෙස ඉදිරිපත් කළේ තමන්ට එරෙහි නඩුව මෙම දූපතේදී නොව ලංකාවේදී සිදුකළ යුතු බවය. නමුත් එය ප්‍රතික්ෂේප කල බ්‍රිතාන්‍යයන් හර්බට් ප්‍රනාන්දු සහ තවත් 15 දෙනකු එම දූපතේදීම යුද අධිකරණයක් හමුවට ඉදිරිපත් කළේය.

එහිදී කැරලිකරුවන් හත් දෙනකු මරණීය දණ්ඩනයට යටත් කළ යුතු යැයි තීන්දු විය. හතර දෙනකු සිර දඬුවමකට යටත් කෙරිණි. කැරැල්ල මැඩ පැවැත්වීම සඳහා බ්‍රිතාන්‍යයන්ට ආධාර කර වෙඩි පහරකෑ සෙබල සමාරිස් ජයසේකර වෙනුවෙන් බ්‍රිතාන්‍ය හමුදාව පූර්ණ හමුදා ගෞරව පිරිනමා ඔහුගේ දේහය දිවයින අසල වූ හෝස්බර්ග් දිවයිනේ තාවකාලිකව මිහිදන් කළ අතර දෙවැනි ලෝක මහා සංග්‍රාමය අවසන් වූ පසු සිංගප්පූරුවේ පිහිටි සුප්‍රකට ක්රාන්ජි යුද අනුස්මරණ සුසාන භුමියට ගෙනගොස් එම දේහය පූර්ණ හමුදා උත්තමාචාර මැද හමුදා සුසාන අතර තැන්පත් කරන ලදි.

කැරලි නායකයන්ට මරණීය දණ්ඩනය නියම කළ පසු ඔවුන් නැව් මගින් ලංකාවට යවා ඇත. ඔවුන් රඳවා තිබුණේ අලුත්කඩේ මිලිටරි රැඳවුම් බැරැක්කවල ය. මරණ දඬුවමට නියමවූවන්ගේ පවුල්වල අය, සහ මෙරට දේශප්‍රේමී නායකයන් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවර සර් ඇන්ඩෲ කැල්ඩිකොට්ගෙන් ඉල්ලා සිටියේ නඩුව යලි සලකා බලන ලෙස ය. නමුත් යුධ නීතිය යටතේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය.

කැරලි නායකයා වූ ග්‍රේෂන් හර්බට් ප්‍රනාන්දු බ්‍රිතාන්‍යයන්ගෙන් සමාවක් අයැදීම අවසන් මොහොත දක්වාම ප්‍රතික්ෂේප කළේ ය.

” මා අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් කළ දේශප්‍රේමියකි. අධිරාජ්‍යවාදීන්ගේ පයට පෑගී සිටින තාක් කල් රටක දේශප්‍රේමී හැඟීම් ඇති කල නොහැකි ය.” ඒ ඔහුගේ අවසන් වචන ය.

ග්‍රේෂන් ප්‍රනාන්දු 1942 අගෝස්තු 5 වැනි දින වැලිකඩ සිරගෙදරදී එල්ලා මරාදමා ඇත. ඔහුගේ සගයන් වූ කාලෝ ඔගස්ටන් ගවුඩර් 1942 අගෝ්ස්තු 7 වැනිදා ද, ජී. බෙනී ද සිල්වා 1942 අගෝස්තු 8 වැනි දිනද එල්ලා මරාදමන ලදී. ආර්.එන්. හැමිල්ටන්, ලාන්ස් බොම්බඩියර් කිංස්ලි ඩයස්, ඒ.ජෝශප් එල් පීරිස්, ජෙරීද ආනන්ද රාජා, ඒ.බී. එඩ්මන්, එම්.ඒ හොප්මන්, එෆ්.ජේ. ඩැනියෙල් සහ කෙනත් ආර්. ප්‍රොව් යන මරණ දඬුවමට නියම වූ සෙසු පිරිස ජීවිත සමාව දී වසර හතේ සිට දෙක දක්වා සිරදඬුවම්වලට යටත් කර ඇත.

අපේ ඉතිහාසයෙන් වසං වූ දේශප්‍රේමීන් පිරිසක් කාලයේ වැලි තලාවෙන් වැසී ගියේ ඒ අයුරිනි.

– කෝකිල ගිහාන් විතානතන්තී‍්‍ර –

එවකට හිරු නොබසින අධිරාජ්‍යය යැයි විරුදාවලි ලබා තිබුණු බ්‍රිතාන්‍යයේ යටත් විජිත සමූහයේ තවත් එක් කොලනියක් වශයෙන් මෙරට පාලනය වෙමින් තිබුණි. පෙර පැවති බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවේ සහ එම නියෝජිතයන්ගේ ඍජු පාලනයෙන් මිදී මෙරට සර්වජන ඡන්ද බලයද ප්‍රදානය කර ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය ක්‍රියාත්මකව තිබුණි. ජනයාගේ ඡන්දයෙන් තෝරා ගත් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නියෝජිතයන් ගෙන් සමන්විත කොමිටි හතක සභාපතිවරුන් වූ ඇමතිවරුන්ගේ යෝජනා අනුව නොයෙක් පෙරළි කාරී ප්‍රතිසංස්කරණ සිදුවෙමින් පැවතුනි. කෘෂිකර්ම ඇමති ඩී. ඇස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් රජරට වැව්

අමුණු ප්‍රතිසංස්කරණය කරමින් ගොවි ජනපද පිහිටුවීම ඉන් එක් ව්‍යාපාරයකි. රටේ සියලු දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලැබීමේ පහසුකම් සැලසිය යුතු යැයි සංවාදයක් ගොඩනැගී තිබුණි.

මෙම වකවානුව වනවිට ජාත්‍යන්තර කරළියේ නොයෙකුත් වෙනස්කම් සිදුවෙමින් පැවතුනි. පළමු ලෝක මහා සංග්‍රාමයේ පරාජයෙන් සහ වර්සේල්ස් ගිවිසුම අනුව නව රාජ්‍ය ගොඩනැගීමේදී විශාල භූමි ප්‍රදේශයක් අහිමිවීමෙන් අවමානයට පත්ව නොසතුටින් සිටි ජර්මනිය ඇඩොල්ෆ් හිට්ලර් නමැති නව නායකයෙකු යටතේ නැවතත් අළු ගසාදමා පෙරට එමින් සිටියාය. පෙර ජර්මනියට අයත්ව තිබී මෙතෙක් චෙකොස්ලෝවැකියාවට ඈඳන ලද සුඩෙටන්ලන්තය නමැති ප්‍රදේශය තමනට අවශ්‍ය බව හිට්ලර් ප්‍රකාශ කළේය. මෙය සාමයෙන් විසඳා ගැනීමට අපේක්ෂා කළ බි්‍රතාන්‍ය අගමැති නෙවිල් චෙම්බර්ලේන් හිට්ලර් සමග සාකච්ඡාවක් පවත්වා එම අර්බුදය නිමා කර ගත්තේ එම ප්‍රදේශයේ කොටසක් හිට්ලර්ට ලබාදීමෙනි. ඉන්පසු හිට්ලර් හැරුණේ පෝලන්තය දෙසටය. එහි ඩැන්සිග් නගරයේ සිට වොර්පෝ දක්වා තීරය තමාට ලැබිය යුතුයැයි ජර්මනිය පෝලන්තයට තර්ජනාත්මකව දක්වා සිටියාය. කලින් සාකච්ඡාවලදී එළඹුණු එකඟතාව කඩකරමින් 1930 මාර්තු මාසයේදී හිට්ලර්ගේ හමුදාවෝ

චෙකොස්ලෝවේකියාව ආක්‍රමණය කර ඒ රට යටත් කර ගත්හ. එතැනින් නොනැවතුණු ජර්මානුවෝ පෝලන්තයද ආක්‍රමණය කළහ. තවදුරටත් බලා සිටිය නොහැකි තැන

1939 සැප්තැම්බර් 05 වැනි දින මහා බ්‍රිතාන්‍යය ජර්මනියට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළාය. එම පියවර අනුගමනය කරමින් ප්‍රංශයද ජර්මනියට එරෙහිව

යුද්ධ ප්‍රකාශ කළ අතර දෙවැනි ලෝක මහා සංග්‍රාමය ආරම්භ විය. 1940 වනවිට ජර්මනිය, නෝර්වේ, ඩෙන්මාර්ක්, බෙල්ජියම, ඕලන්දය ආදී රටවල් අල්ලා ගැනීමට ජර්මනිය සමත් වූවාය. අනතුරුව ප්‍රංශයද යටත් වූ බව කියවුණි.

ප්‍රංශය බිඳවැටෙනවාත් සමග ජර්මනියට පක්ෂව මුසෝලිනීගේ නායකත්වයෙන් ඉතාලියද යුද්ධයට එක්වූවාය. ප්‍රංශය යටතේ පැවති ඉතාලි ප්‍රාදේශීය රාජ්‍යයන් වූ නීස්, සැවෝයි, කෝර්සිකා ආදිය අල්ලා ගැනීමට ඉතාලිය සටනට පිවිසියාය. ජර්මනිය සහ ඉතාලිය පෙරමුණු දෙකකින් යුද වදින මොහොතේ ඒ වනවිට මැන්චුරියානු යුද්ධය ජයගෙන චීනය පරදවා සිටි ජපානයද රණකාමී මුහුණුවරක් ගෙන සිටියාය. කලක් මුළුල්ලේ ආසියානු කලාපයේ බලවතා වීමේ සිහිනය දකිමින් සිටි ජපානය හිට්ලර්ට සහමුලින්ම පක්‍ෂව ආසියාවෙන් යුද බිමට පිවිසියාය. ඒ අනුව 1941 දෙසැම්බර් මස 7 වැනිදා ජපාන හමුදා ඇමරිකා එක්සත් ජනපදයට අයත් හවායි දූපතේ පර්ල් වරායට පහරදීමෙන් ඓතිහාසික වරදක් සිදුකළාය. එමෙන්ම හොංකොං දූපත, පිලිපයින් දූපත්, සිංගප්පූරුව, මලයාවේ විශාල කොටසක් මෙන්ම බුරුමය (වත්මන් මියන්මාරය) ජපනුන් විසින් අල්ලා ගැනීම නිසා ආසියාවේ සහ පැසිෆික් කලාපයේ බොහෝ රටවල් යටත් කරගෙන සිටි බි්‍රතාන්‍යය ඉමහත් කම්පනයට පත්විය. ඊළඟට ඉන්දියාවට හෝ ඕස්ටේ්‍රලියාවට ජපන් ප්‍රහාර එල්ලවනු අතැයි බි්‍රතාන්‍යයෝ බියට පත් වූහ.

මෙම පසුබිම හේතුකොට ගෙන ඉන්දියන් සාගරයේ ආරක්‍ෂාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට බි්‍රතාන්‍ය පාලනයට සිදුවිය. එවකට බි්‍රතාන්‍ය හිරු නොබසින අධිරාජ්‍යයේ සිහසුන හෙබවූ හයවැනි ජෝර්ජ් රජුගේ ඥාති සොහොයුරෙකු මෙන්ම රාජකීය නාවික හමුදාවේ අද්මිරාල්වරයෙකුද වූ මවුන්ට් බැටන් සාමිවරයා අග්නිදිග ආසියාවේ මිත්‍ර හමුදා භාර ප්‍රධාන අණ දෙන නිලධාරි ලෙස බි්‍රතාන්‍ය ආණ්ඩුව විසින් පත් කර එවනු ලැබීය. ඔහුගේ මූලස්ථානය පිහිටුවනු ලැබුවේ ශ්‍රී ලංකාවේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේය. එමෙන්ම මේ රටේ යුද කටයුතු මෙහෙයවීම සඳහා සර් ජ්‍යොප්‍රි ලේටන් නමැති බි්‍රතාන්‍ය ජාතික නිලධාරියෙකු පත්කර සිටි අතර ලංකාවේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ලෙස සර් ඔලිවර් ගුණතිලක මහතා

පත්කර සිටියේය. දක්‍ෂ සහ බුද්ධිමත් පුද්ගලයෙකු වූ සර් ඔලිවර්ගේ ස්ථානෝචිත ප්‍රඥාව නොවන්නට ශ්‍රී ලංකාවාසී ජනතාවට මහත් දුෂ්කරතාවන්ට මුහුණපාන්නට සිදුවනු නිසැක බව තතු දත්තෝ ප්‍රකාශ කළහ.

1939දී යුද්ධය යුරෝපයේදී ආරම්භ වුවත් වසර දෙකක් පමණ යන තුරු එහි කිසිම බපෑමක් ලංකාවට දැනුණේ නැත. නාවික ගමනා ගමනයට බාධා ඇතිවීම නිසා යම් යම් ද්‍රව්‍යවල හිඟයක් හැර වෙනත් පීඩාවක් ලංකාවාසීන්ට දැනෙන්ට තිබුණේ නැත. එවකට ආණ්ඩුකාර සර් ඇන්ඩෘ කොල්ඩිකොට්ගේ නියෝගය පරිදි ඔලිවර් ගුණතිලක සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව භාරගෙන යුද්ධය නිසා ජනතාවට මුහුණ දෙන්නට සිදුවිය හැකි ගැටලුවලට විසඳුම් සපයන්නට වූවේය. බඩු හිඟය නිසා කළුකඩය ශක්තිමත්වීම වැළැක්වීම සඳහා සමුපකාර වෙළඳසැල් ජාලයක් ඇති කිරීම සිදුවිය. සෑම දෙනාටම සාධාරණව තිබෙන බඩු ප්‍රමාණය බෙදාදීම සඳහා සලාක ක්‍රමයක් පිහිටුවනු ලැබීය. හදිසි ආක්‍රමණයක් සිදුවුවහොත් ආරක්‍ෂක පියවරයන් ගත යුතු ආකාරය ගැන දැනුවත් කිරීම් රටපුරා සිදුකළේය. හැකි සෑම ස්ථානයකම ආරක්‍ෂක අගල් කැප්පවීය – අනතුරු හැඟවීම් ලද වහාම එම අගල් තුළට දිවගොස් සැඟවීමට උපදෙස් දෙන ලදී.

ආහාර හිඟයට මුහුණ දීම සඳහා අල බතල හැකි පමණින් වගා කිරීමට උපදෙස් දෙන ලදී. සහල් හිඟයට විකල්පයක් වශයෙන් බජිරි නම් වූ කටුක ධාන්‍ය වර්ගයක් හඳුන්වා දෙන ලදී.

මෙවැනි පසුබිමක් තිබියදී ජපන් හමුදාවෝ ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ අතිවිශාල කොටසක් අල්ලා ගැනීමට සමත් වූහ. ඔහු නොපමාව ලංකාවද ආක්‍රමණය කරනු ඇතැයි යන බිය සැවොම අවබෝධ කර ගත්හ. ආණ්ඩුව හමුදා සූදානම් කළේය.

බි්‍රතාන්‍යයන්ගේ යටත් විජිත පාලනය විචේචනය කරන එමෙන්ම බි්‍රතාන්‍යයේ යුද ප්‍රයත්නයට සහාය නොදක්වන

දේශපාලන බලවේග නීති විරෝධී කර ඒවායේ නායකයන් සහ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට නියෝග පනවන ලදී.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ලංකා සමසමාජ පක්ෂය නීති විරෝධී යැයි ප්‍රකාශ කෙරුණු අතර එහි ප්‍රධාන නායකයන් වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, පිලිප් ගුණවර්ධන සහ එඞ්මන්ඞ් සමරක්කොඩි යන අය සිරභාරයට ගෙ

බෝගම්බර බන්ධනාගාරයේ රඳවා තබනු ලැබීය. තවත් බොහෝ අනුගාමිකයෝ සිරභාරයට ගත්හ. සමහරු පැන ගියහ. තවත් අය සැඟවුණහ.

1942 අප්‍රේල් මුල සතිය වනවිට ශ්‍රී ලංකාවට ජපන් ආක්‍රමණයක් එල්ලවීම නිසැක බව දැනෙන්නට විය. ඈත මුහුදේ ආරක්‍ෂක කටයුතුවල නියැළෙන බි්‍රතාන්‍ය නෞකා වෙතින්ද එවැනි සංඥා ලැබෙන්නට විය. අප්‍රේල් 05 වැනිදා උදාවිය. එදින ඉරිදා දිනයකි. ක්‍රිස්තු භක්තිකයන් තමන්ගේ ඉතා පූජනීය දිනයක් ලෙස සලකන කිතු සමිඳාණන් මළවුන්ගෙන් උත්ථානය ලැබුවායැයි කියැවෙන පාස්කුව යෙදී තිබුණේ එදිනටය. පෙර දිනයේ ඔත්තු ගුවන් යානා මගින් අද්මිරාල් ලේටන්ට වාර්තා කර තිබුණේ ජපන් ප්‍රහාරක නැව් කණ්ඩායමක් කොළඹ බලා පැමිණෙමින් තිබෙන බවය. එම නැව් කොළඹට යාත්‍රා කිරීමට පෙර ඒවායේ තිබෙන ගුවන් යානා පැමිණ නගරයට බෝම්බ හෙළනු ඇතැයි ලේටන්, ඔලිවර්

ඇතුළු බලධාරීහු නිගමනය කළහ. ගැටලුව වූයේ පසු දිනට යෙදී ඇති පාස්කු දිනයේ දේවස්ථාන කරා යන බැතිමතුන්ගේ ගමන වැළැක්වීමට උපදෙස් නිකුත් කරනවාද යන්න ගැනය.

ඔලිවර් එක හෙළාම කියා සිටියේ එවැනි දැනුම්දීමක් නොකළ යුතු බවයි. එයින් ජනයා අනිසි බියකට පත්වන නිසා ඔලිවර් මෙම පියවර ගෙන තිබුණි. මේ ගැන ආණ්ඩුකාර සර් ඇන්ඩෘ කොල්ඩිකොට්ගේ උපදෙස් පවා ඔලිවර් පිළිගත්තේ නැත. කලින් තොරතුරු ලැබීම නිසා අවශ්‍ය පියවර බොහොමයක් ගැනීමට ඉඩ ලැබුණි. ගුවන් හමුදාව සිටියේ සූදානමෙනි. වරායේ තිබුණු නැව් බොහොමයක් ඉන් ඉවත් කරන ලදී. අප්‍රේල් 05 වැනිදා උදේ හතයි පනහට ජපන් සතුරු ගුවන් යානා කණ්ඩායම් කීපයක් කොළඹ ගුවන් තලයට ඇතුළු විය. එක කණ්ඩායමකට පහ බැගින් ගුවන් යානා කණ්ඩායම් බොහෝ

ගණනක් මෙරටට පැමිණෙමින් තිබුණි. ඒවා කොළඹින් ඇතුළුවී රත්මලාන ගුවන් තොටුපළ දෙසට ගමන් කළ බව වාර්තා වූවේය.

ප්‍රථම ප්‍රහාරය එල්ල වූවේ කොළඹ වරායටය. ඒ වනවිට නැව් බොහෝ ගණනක් ඉවත් කර තිබුණු නිසා හානි සිදුවූවේ නැව් දෙකකට පමණි. වරායේ නවතා තිබුණු යුද්ධ නැවක් වූ ‘ටෙනඩෝස්’ හා බඩු ප්‍රවාහන නෞකාවක් වූ ‘හෙක්ටර්’ද බෝම්බ ප්‍රහාරයෙන් දියේ ගිලී ගියේය. වරායේ ඉංජිනේරු අංශය බෝම්බ වැටීමෙන් මුළුමනින්ම විනාශ විය. කොළඹ ජනයාගෙන් බොහෝ දෙනෙකු සිටියේ පාස්කු දේව මෙහෙයට සහභාගි වෙමින් දේවස්ථාන තුළය. එහෙයින් ජීවිත හානි අවම විය. ඈත මුහුදේ ගමන් කරමින් සිටි කොන්වෝල් සහ ඩෝවෙස්ටර් යන යුද්ධ නෞකා දෙක ද ප්‍රහාරය නිසා සයුරේ ගිලී ගියේය. දෙවැනි ප්‍රහාරය එල්ල කෙරුණේ අංගොඩ මානසික රෝහලටය. එය වැරදීමකින් සිදුවූවක් බව කියනු ලැබේ. රෝහල මත තනා තිබූ විශාල චිමිනිය නිසා එය විදුලි බලාගාරයකැයි යන වැරදි අවබෝධය නිසා එම ප්‍රහාරය ජපනුන් විසින් එල්ල කළ බව පැරණි වාර්තාවන්හි දැක්වේ. කෙසේ වුවත් අහිංසක රෝගීන් පනස් දෙනෙකුගේ පමණ ජීවිත මෙම අත්වැරදීම නිසා අහිමි විය. තවත් තිස්

පස් දෙනෙක් වූ සාමාන්‍ය වැසියෝද දිවි පිදූහ. මෙම ආක්‍රමණය සඳහා ජපන් ගුවන් යානා අසූ පහක බළ ඇණියක් ලංකාවට ඇතුළු වූ බව කියනු ලැබේ. ඒ අතරින් ආපසු යාමට සමත්වූයේ ගුවන් යානා පනස් හතරක් පමණි.

ඉතිරි සියල්ල මෙරට ක්‍රියාත්මක වූ බි්‍රතාන්‍ය රාජකීය ගුවන් හමුදාව විසින්

වෙඩි තබා බිම හෙළා තිබුණි. විනාශ වූ සතුරු ගුවන් යානා ගණන තිස් එකක් වීම විශාල ජයග්‍රහණයක් ලෙස සලකන ලදී.

ජපන් බෝම්බ ප්‍රහාරය සිදුවීමත් සමග කොළඹ වාසී ජනතාව පිටිසරට පලායාම ආරම්භ කළේ නැවතත් පහරදීමක් සිදුවෙතැයි යන භීතියෙනි. යාන වාහන ඇති අය එමගින්ද කරත්ත හිමිකරුවෝ කරත්තයෙන්ද අනෙක් ඇත්තෝ අතට ගත හැකි සුළු බඩු භාණ්ඩ යමක් රැගෙන ජීවිතාරක්‍ෂාව පතා සිය නෑසියන් සොයා පලා ගියහ. කොළඹ නගරය ජනයාගෙන් හිස්විය. කොළඹ ප්‍රධාන පාසල්ද ඈත පෙදෙස්වලට ගෙන යන ලදි. ආනන්ද විද්‍යාලය මතුගමටද නාලන්දා විද්‍යාලය

මිනුවන්ගොඩටද ශාන්ත තෝමස් විද්‍යාලය බණ්ඩාරවෙල ගුරුතලාවටද ආදී වශයෙන් ආරක්‍ෂාව පතා සංක්‍රමණය වන ආකාරය දක්නට ලැබුණි.

ආක්‍රමණයක් යළිත් සිදුවේදැයි බියෙන් කොළඹ ජනයාගෙන් බහුතරයක් පලා ගියද ඊළඟ ප්‍රහාරය එල්ල වූවේ ත්‍රිකුණාමලය වරායටය. එය කොළඹ පහරදීමට වඩා සාර්ථක වූ බවක් පෙනුණි. එච්. එම්. එස්. හර්මිස් යුද නෞකාවද තවත් තෙල් නැව් දෙකක් ද බෝම්බ පහරවලින් මුහුදු බත් විය. ත්‍රිකුණාමලය රේගු කාර්යාල සංකීර්ණය මුළුමනින්ම විනාශ වූ අතර වරායටද බරපතළ හානි සිදුවිය. එම නගරයේ රාජකාරි කටයුතු කරමින් සිටි සියලුම

සේවකයෝ පලා ගියහ. ඒ නිසා රජයේ කාර්යාල පාළුවට ගොස් තිබුණි. පරිපාලනය අකර්මණ්‍ය වූවේය. නගරය නිහඬ දූපතක් බවට පත්වූ බව කියනු ලැබේ.

කොළඹ නගරයේ බහුතර ජනතාව නගරය හැර දමා පිටිසර ජීවත්වන ඥාති මිත්‍රාදීන් සොයා පලාගිය බව මුලින්ද සඳහන් කළෙමි. එහෙත් සුළුතරයක් මිනිස්සු එහි රැඳී සිටියහ. වෙළඳ ප්‍රජාවද පැනගොස් සිටි නිසා බරපතළ ආහාර හිඟයක් මතුවිය. කොළඹ තොග වෙළෙඳාම මේ වනවිට බොහෝ සෙයින්ම අයත් කර ගෙන සිටියේ ඉන්දියානු ජාතිකයින් විසිනි. ඔව්හු ඉන්දියාවට පලාගොස් සිටියහ. මෙහිදී අත්‍යවශ්‍ය කොමසාරිස් වශයෙන් ඔලිවර් ගුණතිලක මහතා දැඩි තීරණයක් ගත්තේය. සියලුම ආහාර තොග ගබඩා බලයෙන් විවෘත කර එම ද්‍රව්‍යයන් මහජනයාට ලබාදීමට කටයුතු කළේය. එමෙන්ම කොළඹ නගරයේ සිල්ලර වෙළඳසැල් ද විවෘත කර ඒවා පවත්වාගෙන යාමට ජනයාට නියම කළේය. පදික වේදිකාවේ සිටි පිටස්තර පුද්ගලයෝ ද මේ අනුව ඉහළම තලයේ ව්‍යාපාරිකයන් බවට පත්වූහ. කොළඹ සිංහල ව්‍යාපාරික පන්තියක් බිහිවීමට මූලික පදනම වැටුණේ ඒ අයුරිනි. වසර ගණනාවකට පසු යුද බිය පහව ගොස් රට සාමාන්‍ය තත්ත්වයට පත්වූ පසු පලා ගිය සමහර තොග ව්‍යාපාරිකයෝ මෙරටට ආපසු පැමිණියහ. ඒ තම ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කිරීමේ රිසියෙනි. එහෙත් ඒ වනවිට ඒවාට වෙනත් අයිතිකරුවන් පත්ව සිටියහ.

රජය අලුත් මුදලාලිලා වෙනුවෙන් පෙනී සිටි නිසා පැරණි හිමිකරුවන්ට සිදුවූයේ ආපසු ඉන්දියාවට යාම හෝ අලුතෙන් ව්‍යාපාර ඇරඹීමටය.

අප්‍රේල් 05 වැනිදා තවත් බරපතළ සිදුවීමක් ක්‍රියාත්මක වෙමින් තිබුණි. යම් හෙයකින් කොළඹට ජපන් ප්‍රහාරයක් එල්ල වුවහොත් යුද්ධයට සහාය නොදෙන ලෙසත්, රටට නිදහස දෙන තුරු බි්‍රතාන්‍යයන් වර්ජනය කරන ලෙසත් උද්ඝෝෂණය කරමින් සිටි සමසමාජ නායකයන් මරා දමනු ඇතැයි සැකයක් එම පක්‍ෂය තුළ මතුව තිබුණි. එම පක්‍ෂයේ ප්‍රධාන නායකයන් මේ වනවිට සිටියේ සිර අඩස්සියේ නිසා මෙය ඉතා පහසුවෙන් සිදුකළ හැකියැයි ඔව්හු තීන්දු කළහ. එනිසා ප්‍රධාන සමසමාජ නායකයන් හතර දෙනා සිරගෙදරින් පැනයාමට සැලසුම් සකස් විය.

එම සිරකරුවන් හතර දෙනා භාරව සිටි සොලමන්ස් නමැති බන්ධනාගාර නිලධාරියාද මෙම හිරකරුවන් හතර දෙනා වන ඇන්. ඇම්., පිලිප්, කොල්වින් සහ එඞ්මන්ද රථයක නැගී කොළඹ බලා එමින් සිටියහ. ඒ වනවිට යුද සූදානමක් වශයෙන් හමුදා භට පිරිසක් කැලණි ගඟේ වික්ටෝරියා පාලමේ බෝම්බ සවි කරමින් සිටියහ.

පාලමෙන් වාහන ගමනා ගමනය තාවකාලිකව නවත්වා තිබුණි. මෙම රථයටද එහි නවතන ලෙස පොලීසිය අණ කළේය. බෝම්බ සවිකර නිමවන තුරු ටික වේලාවක් එහි රැඳී සිටින ලෙස අණ ලැබුණි. යුද්ධ කාලයේ සාමාන්‍යයෙන් සිදුවන ආකාරයට සෑම තැනම විදුලිය නිවා අඳුරු කර තිබීම සිරකරුවන්ගේ වාසනාවක් විය. “එහෙනම් අපි තේ ටිකක්වත් බොමු” යි කී රියැදුරු අසුනේ සිටි රොබට් ගුණවර්ධන මහතා වහනය මදක් පිටුපසට ගත්තේ පොලිස් නිලධාරීන්ගේ අවධානයෙන් මිදීමටය. ටික වේලාවකින් අන්තරායෙන් මිදුණු සමසමාජ නායකයෝ කොළඹ නගරයට ඇතුළු වූහ. පසුව ඔවුහු ඉන්දියාවට පලා ගියහ. යුද්ධය අවසන් වන තුරු ඔවුන් වාසය කළේ එරට සැඟවීගෙනය. ඇන්. ඇම්. විශ්වනාත් නමින් බැංකු කළමනාකරුවෙකු ලෙසත් පිලිප් සහ කුසුමා යුවළ ගුරුසාමි මහතා සහ මහත්මිය ලෙසත් වෙස්වළාගෙන සිටි බව කියනු ලැබේ.

රොබට් ගුණවර්ධන මහතා ප්‍රසාද් නමැති ව්‍යාපාරිකයෙකු මෙන් සිටි අතර විවියන් විජය ලක්‍ෂ්මි ලෙසද පෙනී සිටියහ.

ඇමරිකා ජනාධිපති හැරි ටෲමන්ගේ නියමය පරිදි 1945 අගෝස්තු 06 වැනි දින ජපානයේ හිරෝෂිමා නගරයට හෙළන ලද පරමාණු බෝම්බ නිසා යුද්ධයේ අවසාන ඉරණම තීණ්දු විය. ඒ වනවිට ජර්මනිය සහ ඉතාලිය යටත්ව තිබුණි. එහෙත් ජපානය පරාජය පිළිගෙන යටත්වීමට කැමති වූවේ නැත. එහෙත් පරමාණු බෝම්බ දෙක නිසා සිදුවූ හානිය දරාගැනීමට ජපාන රාජ්‍යයට නොහැකි විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 1945 සැප්තැම්බර් 02 වැනිදා ටෝකියෝ වේලාවෙන් පෙරවරු දහයයි තිහට ඇමෙරිකා එක්සත් ජනපදයට අයත්

‘මිසෝරි” යුද්ධ නෞකාවේදී ජපානය මිත්‍ර පක්‍ෂයට යටත්වීමේ ලියවිල්ලට අත්සන් තැබීමත් සමග ලෝක ඉතිහාසයේ ඉතාමත් බිහිසුණු යුද්ධය ලෙස සැලකෙන දෙවැනි ලෝක මහා සංග්‍රාමය අවසන් විය.

එම යුද්ධයෙන් අනෙකුත් බොහෝ රටවලට සිදුවූ තරම් හානියක් ලංකාවට සිදු නොවූ බව සත්‍යයකි. එහෙත් ලාංකිකයන්ගේ සුළු සංඛ්‍යාවක් හෝ එහිදී මියගියහ.

දේපල ද විනාශ විය. ඒ එකද ජීවිතයක් නැවත ලබා දිය නොහැක. එසේ නම් කෝටි ගණනක් වූ අනෙක් රටවල විනාශ වූ ජීවිත ගැන කිව හැක්කේ කුමක්ද?

එනිසා සමස්ත මිනිස් ප්‍රජාවගේ යුතුකම වන්නේ යුද බිය ඇති නොවන අයුරින් කටයුතු කිරීම බව නොවළහා අවබෝධ කරගත යුතුය.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00