ceylonlknews.com

Ceylon Lk News

Home විශේෂාංග කැප්පෙටිපොළ දිසාවගේ මී මිනිබිරිය

කැප්පෙටිපොළ දිසාවගේ මී මිනිබිරිය

by CeylonLk
0 comments

මොණරවිල රාජපක්ෂ වික්‍රමසේකර අබේරත්න විජේකෝන් බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාලහාමිල්ලාගේ ලොකු බණ්ඩා කැප්පිටිපොළ මොණරවිල කැප්පෙටිපොළ කුමාරිහාමි නම් වන්නීය.

( මෙය ඉරිදා ලංකාදීප පුවත් පතේ 2019 වසරේ පලවූ ලිපියක් , පවුලේ අයගේ කැමැත්ත මත ලිපිය පළකර තිබුනේ චාන්දනී දිසානායක විසින්. එබැවින් නැවත පළ කිරීම වරදක් නොවේ යැයි සිතමි. මේ මව්තුමිය පිළිබද තොරතුරු නොදනී )

ඈත අතීතයේ සිට පාවාදීම් නිසා අපිට අහිමි වූ දේ, අතීත සිදුවීම් සහ පරම්පරාවන් පිළිබඳ තොරතුරු සොයා යාමට දැඩි වෙහෙසක් ගත යුතුව ඇත. එක්කෝ එවන් දේ සහ පරම්පරා සමාජයෙන් සැඟවී යාම නිසාය. නැතිනම් සැඟව සිටින නිසාය. ඒ නිසා ඉතිහාසය සොයා යාමට දැඩි වෙහෙසක් දැරිය යුතුව ඇත.

වර්ෂ 1818 සිංහලේ පළමු නිදහස් සටනේ පුරෝගාමියා වූ ඌව වෙල්ලස්ස කැරැල්ලේ නායක වීර කැප්පෙටිපොළ අදිකාරම්ගේ හතර (4) වැනි පරම්පරාවේ වයස්ගතම පුරුක සොයා යාමට ඉරිදා ලංකාදීපයට පසුගියදා හැකියාවක් ලැබිණි.

1924 නොවැම්බර් මස පළමුවැනිදා (1) මෙලොව එළිය දුටු ඇය මේ වනවිට අනූ පස් (95) වැනි වියෙහි පසුවෙයි. මාතලේ හුලංගමුව, කහද වලව්වේ ඉපදී 1947 දී විවාහයට පත්ව කුරුණෑගල, ඉබ්බාගමුව, තල්ගොඩපිටිය ප්‍රදේශයේ වසර හැත්තෑ එකක (71) කාලයක් පදිංචිව සිටින්නීය.

හේරත් විජයපාල විජේසුන්දර මුදියාන්සේ රාලහාමිල්ලාගේ පුංචිබණ්ඩාර තල්ගොඩපිටිය මහතා සමඟ විවාහ වූ මොනරවිල කැප්පිටිපොළ චන්ද්‍රාවතී කුමාරිහාමි මහත්මිය දරුවන් පස් (5) දෙනකුගේ මවකි.

පසුගිය අප්‍රේල් මාසයේ දී ඔවුන්ගේ වැඩිමහලු පුතණුවන් වූ ආර්.බී. තල්ගොඩපිටිය මහතා හදිසි අනතුරකින් මිය යාමත් සමග ඇගේ තොරතුරු අනාවරණය වන්නට විය. තල්ගොඩපිටිය මහතා වීර මොනරවිල කැප්පෙටිපොළ නිලමෙතුමාගේ ඥාති පදනමේ ජාතික සංවිධායකවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී 2019 අප්‍රේල් මස 15 වැනි දින හදිසි අනතුරකින් මිය ගියේය. ඔහු විසින් තම පරම්පරාවේ සියලු තොරතුරු ඒකරාශි කර ලියා තැබුවේය. ඔහුගේ වියෝවෙන් මොණරවිල කැප්පෙටිපොළ චන්ද්‍රාවතී කුමාරිහාමි සමග කතා බහ කරන්නට අපි අවස්ථාවක් ලබා ගත්තෙමු.

“මම ඉස්කෝලේ ගියේ, මාතලේ දොඩම්වල ඉස්කෝලෙට. ඒ කාලේ හැටියට මම අටේ පන්තිය දක්වා ඉගෙන ගත්තා. රචනා ලියන්න, ගණන් හදන්න, සිංහල, හොඳට ඉගෙන ගත්තා. හොඳට කවි, ගාථා පාඩම් කළා. ඒ වුණාට දැන් නම් කිසි දෙයක් මතක නෑ. පොත් පත්තර කියවන්නත් බෑ.”

“සෙත් සිරි දෙන මහ ගුණ මුහු දාණන්

සත්හට වන බව දුකට වෙ ද‌ාණන්

තිත් ගණදුර දුරුලන දිනි ද‌ාණන්

සිත් සතොසින් නමදිම් මුණි ද‌ාණන්”

යනුවෙන් ලෝවැඩ ගරාවේ කවියක් කීවාය.

ඇය, ඇගේ කුඩා සන්දිය ද අවදි කළාය.

“මගේ පවුලේ සහෝදර සහෝදරියෝ ඔක්කොම දහදෙනයි. මම නවවෙනියා. මට අයියලා තුන්දෙනයි, අක්කලා හතරදෙනයි, මල්ලියෙකුයි හිටියා. මල්ලි ඇලෙක්සැන්ඩර්. එයා දැන් මිය ගිහින්. ජෝර්ජ්, ආර්ට් කියලා අයියලා තුන්දෙනෙකුත් හිටියා. ඒ තුන්දෙනාත්, මිය ගිහින්.

මහනුවරට, බෝයවලානට, අලුත්ගමට, නුගේගොඩට මගේ අක්කලා හතරදෙනා විවාහ වෙලා පදිංචිව හිටියේ. එයාලත් මිය ගිහින්. ඒ වුණාට එයාලගේ දරුවෝ ඒ ගම්වල ඉන්නවා. දැනට ජීවතුන් අතර ඉන්නේ මම විතරයි. අපේ අප්පච්චිගේ කිරි අත්තා තමයි වීර කැප්පෙටිපොළ දිසාව. ඒ මගෙ මුත්තා. අපි පුංචි කාලේ ඉඳන්ම මුත්තා මිය ගිය දිනය සිහි කරලා දළදා මාලිගාවට යනවා. දළදා වහන්සේට දානය පූජා කරනවා.

මම මේ වයසට ගිහිල්ලත් මගේ දරුවෝ මාව මුත්තා මියගිය තැනට එක්ක යනවා. මට මතකයි අපි පුංචි කාලේ ගියේ කරත්තවලින්. දළදා පෙරහර බලන්නත් අපි ඒ කාලේ කරත්තවලින් ගියා. එහෙම ගමනකට ඇරෙන්ට අපේ පවුල්වල ගෑනු දරුවෝ එළියේ – පහළියේ ගියේ නෑ. වලව්වට කවුරු හරි ආවත් අපි ඇතුළට වෙලා තමයි හිටියෙ. අමුත්තන් එක්ක කතා බහට ගියේ නෑ. ඒ කාලේ අපි සෙල්ලම් කළා. බෙල්ලො දැම්මා. කොටු ඇඳල කොට්ටං පැන්නා. අල්ලන සෙල්ලම් කළා. මට මතකයි එක දවසක් අපි සොල්දරේට වෙලා බලාගෙන ඉන්නකොට කටට ඉබ්බො දාපු කාපිරි සොල්දාදුවෝ යනවා. අපි ඒ දවස්වල හරි බයයි. අප්පච්චි කෝරලේ මහත්තයා වුණාට, අපි හිටියේ ඒ විදිහට. ඒ කාලේ පැදුරු වියව්වා. බිම ඉඳගෙන ගොඩක් මහන්සි වෙලා, රටා දාලා, පැදුරු වියනවා. අපේ ඥාතීන් නොවන කවුරු හරි වලව්වට ආවහම ඒ පැදුරු බිමට දාලා ඉඳගන්න දුන්නා මතකයි.

මගේ අප්පච්චි මොනරවිල කැප්පෙටිපොළ කෝරලේ මහත්තයා. මගෙ අම්මා මහනුවර දොඩම්වල වලව්වේ ටිකිරි කුමාරිහාමි. ඇහැලේපොළ අදිකාරම් මගේ අම්මාගේ මුත්තා. මේ විස්තර ඉතින් ඔක්කොම දන්නවා මගේ පුතා. එයා ඒ කාලේදීම මං කියාපු විස්තර ඔක්කොම එකට එකතු කරලා තිබුණා. දැන් එයා නෑනේ.” ඇය කීවාය.

හත්කෝරළේ සිට මහනුවර දක්වා පැමිණි දියවඩන නිලමේ මාතලේ මොණරවිල පදිංචිව සිට 1720 දී මිය ගියේය. එතුමාගේ පුතා වූයේ, කැප්පෙටිපොළ හෙවත් ගොලහැල දියවඩන නිලමේය. ඔහු 1797 දී දළදා මාලිගාවේ සොල්දොර තට්ටුවෙන් පහළට වැටී මිය ගියේය. එතුමා විවාහ වී සිටියේ මොණරවිල කුමාරිහාමි සමඟය. ඔවුන්ට පුතුන් දෙදෙනකු සහ දුවක් සිටියහ. එම දියණිය ඇහැලේපොළ අදිකාරම් හා විවාහ වී පසු කලෙක රාජ්‍යද්‍රෝහීන් ලෙස මහනුවර මඟුල් මඬුවේ දී ඝාතනය වූවාය.

මද්දුම බණ්ඩාර ඇතුළු දරුවන්ගේ මව වූ ඇහැලේපොළ කුමාරිහාමි එම දියණියයි. ඇගේ එක් සහෝදරයෙක් වූයේ කැප්පෙටිපොළ අධිකාරම්ය. ඔහු 1818 නොවැම්බර් මස 26 වැනිදා ගෙල සිඳ ඉංග්‍රීසීන් විසින් ඝාතනය කරනු ලබන්නේ රාජද්‍රෝහීන් ලෙස නම් කරමින්ය. එතැන් පටන් මේ පරම්පරාව රහසිගතව ජීවත් වූහ.

“රට, ආගම, ජාතිය, වෙනුවෙන් දිවි පිදීම වැනි උතුම් දෙයක් තවත් ඇද්ද?” යනුවෙන් උදම් අනමින් ඝාතකයාට ගෙල පා මරණයට පත් වූ කැප්පෙටිපොළ අදිකාරම්ගේ එකම පුත්‍ර රත්නය වූ හේ ලොකුබණ්ඩා කැප්පෙටිපොළය. ඔහු, අපගේ කතානායිකාව වූ මොණරවිල චන්ද්‍රාවතී කැප්පෙටිපොළ කුමාරිහාමිගේ කිරිඅත්තාය. එනම් ඇගේ පියාගේ පියාය.

අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කළ කැප්පෙටිපොළ පරම්පරාවේ අටවැනි පරම්පරාව දක්වා මේ වනවිට වර්ධනය වී ඇත. කැප්පෙටිපොළ පරම්පරාවේ හතරවැනි පරම්පරාවේ වයස්ගතම චරිතය ලෙස මොනරවිල කැප්පිටිපොළ චන්ද්‍රාවතී කුමාරිහාමි ඉමහත් පැසසුමට ලක්ව ඇත. ඇය තවමත් ඉතාමත් නිරෝගීව කුරුණෑගල ඉබ්බාගමුව තල්ගොඩපිටිය ප්‍රදේශයේ ජීවත් වෙන්නෙ, තම පරම්පරාව පිළිබඳව ඇති දැඩි ආඩම්බරයකිනි.

උපුටා ගැනීමකි

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00