මේ වනවිට රැදවුම් නියෝග මත රදවාගෙන ප්‍රශ්න කෙරෙන නැගෙනහිර පලාත් හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගේ සමීපතම දේශපාලන හිතවතා ලෙස සැලකෙන හිටපු පලාත් සභා මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් හෙවත් ඉනියභාරතී සහ ඔහුගේ අනුගාමිකයෙකු අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2005 වසරේ සිට 2008 දක්වා කාලය තුළ නැගෙනහිර පළාතේ සිදුවූ පුද්ගල ඝාතන, පුද්ගලයින් පැහැරගැනීම, අතුරුදන් කිරීම්, ගිනිඅවි පරිහරණය, වදකාගාර පවත්වාගෙන යෑම සහ කප්පම් ලබා ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.
ඒ අනුව, මොවුන් දෙදෙනා තිරුක්කෝවිල් සහ සන්දිවේලි ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබුණා.
ඉනියභාරතී 2004 වර්ෂයේදී එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් ඉවත් වූ කරුණාඅම්මාන් පාර්ශවයේ තිරුක්කෝවිල් ප්‍රදේශයේ සන්නද්ධ කදවුරක ප්‍රධානියා ලෙස කටයුතු කර තිබෙනවා.
එමෙන්ම, ඔහු කරුණාම්මාන් නියෝජනය කළ දේශපාලන පක්ෂයෙහි 2007 සහ 2008 වර්ෂවල අම්පාර දිස්ත්‍රික් ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරීයා ලෙස කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.
මීට අමතරව 2012 වර්ෂයේ සිට 2015 දක්වා කාලයේ නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රිවරයෙකු ලෙසත් කටයුතු කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සදහන් කළේ, මෙම සැකකරුවන් විසින් 2005 වසරේ පෙබරවාරී මස 07 වන දින පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේදී දෙමළ ජාතික සංදානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරියනායගම් චන්ද්‍රනේරු ඇතුලු පුද්ලයින් 06 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආධාර අනුබල ලබාදී ඇති බවයි.
මීට අමතරව තවත් පුද්ගල ඝාතන සහ පැහැරගැනීම් රැසකට චෝදනා එල්ල වී ඇති තිබෙනවා.
එමෙන්ම, ඉන් එක් සැකකරුවෙකු උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසන් වාර්තාවලට අනුව නැගෙනහිර පළාතේ පුද්ගල ඝාතන, පුද්ගලයින් පැහැරගැනීම, ගිනිඅවි පරිහරණය සහ වදකාගාර පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් පුද්ගලයෙකු ලෙස නම් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සදහන් කළේ.