ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවදානමක්

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවදානමක්

by CeylonLk
0 comments

සටහන…අරුන විජේරත්න

වර්තමානය වනවිට සීගිරිය අවට දිනෙන් දින ඉදිවන අනවසර ඉදිකිරීම් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් සීගිරිය ඉවතට විසිකිරීමේ අවදානමක් මතුකර ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසයි.

සීගිරිය අතීතයේ සිට වර්තමානය දක්වාම ලංකාද්වීපයේ අසිරිය ලෝකයට කියාපාන දැවැන්ත සංකේතයකි. ක්‍රි.ව. 05 වන ශතවර්ෂයේදී කාශ්‍යප රජු විසින් රාජධානියක් සහ සැලසුම් සහගත නගරයක් බවට පත්කළ සීගිරි පර්වතයේ වාස්තු විද්‍යාත්මක හා ගෘහ නිර්මාණ ශිල්පීය සැකසුම් සහ බිතුසිතුවම් ලෝකයේම අවධානය දිනාගනු ලැබීය.

1982 වසරේදී යුනෙස්කෝ ලෝක උරුමයක් බවට සීගිරිය ප්‍රකාශ කරන ලද්දේ අතිවිශාල දෙස් විදෙස් ආකර්ශනයක් හිමිකර දෙමින්ය. නමුත් වර්තමානය වනවිට සීගිරිය අවට දිනෙන් දින ඉදිවන අනවසර ඉදිකිරීම් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් සීගිරිය ඉවතට විසිකිරීමේ අවදානමක් මතුකර ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.

“මෙම අනවසර ඉදිකි‍රීම් මෙවැනි සංවේදී තැන්වල සිදුවෙලා තියෙන්නේ පසුගිය රජයන් මේ වෙනුවෙන් කටයුතු කළ විදිහ සහ අවසරදීමේ පිළිවෙලක් නැති නිසා. සීගිරියේ පර්වතයේ ඉඳලා 200 සීමාව සහ යාර 400 සීමාව කියන කොටස ඇතුළේ අනවසර ඉදිකිරීම් 124ක් තියෙනවා. ඒවා ඉවත් කරන්න අවශ්‍ය කටයුතු අපි දැන් දියත් කරලා තියෙනවා. ආයතන 15 එකතු කරලා අන්තර් ආයතනික කමිටුවක් හදලා තියෙනවා. රජය මේ අයව ඉවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රාමාණික වැඩපිළිවෙලක් හදලා”යැයි සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා කියා සිටියේය.

ලෝක උරුම සීගිරියට බලපෑම් කරන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා සැලසුම් සකස් කර ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඩී. තුසිත මැන්දිස් මහතා සඳහන් කරනවා.

ඔහු සඳහන් කළේ, සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවතට විසිවී යාමේ තර්ජනයක් නැතත්, සීගිරිය අවට භූ දර්ශනය රැකගන්නා ලෙස යුනෙස්කෝ සංවිධානය දැනුම් දී ඇති බවයි.

“සීගිරිය කියන්නේ ගල විතරක්ම නෙමේ. මේක වටා ලෙන් පද්ධතියක් තියෙනවා, සුසාන තියෙනවා. මෙන්න මේ භූ දර්ශනයට තමා යුනෙස්කෝවෙන් ආරක්ෂා කරන්න කියලා කියන්නේ. යුනෙස්කෝවෙන් එහෙම තර්ජනයක් තවම ඉදිරිපත් වෙලා නෑ. නමුත් අනවසර ඉදිකිරීම් වේගයෙන් වැඩි වුණොත් ඉදිරියේදී තරජනයක් වෙන්න පුළුවන් කියන තත්ත්වයක අපි ඉන්නවා”යැයි මහාචාර්ය ඩී. තුසිත මැන්දිස් මහතා කියා සිටියේය.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00