ceylonlknews.com

Ceylon Lk News

Home විශේෂාංග ස්ටේෂන් ග්‍රෑන්ඩ් හෝටලය

ස්ටේෂන් ග්‍රෑන්ඩ් හෝටලය

by CeylonLk
0 comments

සටහන..අරුනඩෙල් විජේරත්න

අතීත කන්ද උඩරට වැවිලිකරුවන්ගේ සහ ප්‍රභූන්ගේ වාසස්ථානයක් වූ, ස්ටේෂන් ග්‍රෑන්ඩ් හෝටලය නොහොත් වත්මන් මහනුවර තැපැල් කාර්යාලය..

වර්ෂ 1932 දී බ්‍රිතාන්‍යය යටත්විජිත ආණ්ඩුව විසින් කන්ද උඩරට ඓතිහාසික වශයෙන් ඉතා ප්‍රකට තැපැල් දුම්රිය සේවාව ආරම්භ කරන ලදී. මෙම ඓතිහාසික කර්තව්‍යය සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කරන ලද්දේ ‘සර් රොබට් විල්මට් හෝර්ටන්’ ආණ්ඩුකාරවරයාය. කොළඹ කොටුවේ කුමාර වීදියේ පිහිටි රෝයල් හෝටලය අසලින් උදෑසන 4.00ට අරුණලු නැඟෙන්නට පෙර පිටත්වන තැපැල් දුම්රිය පැය 14කට පසු කන්ද උඩරට මහනුවර තැපැල් කාර්යාලය ඉදිරිපිට පැමිණීම එකළ දිනපතා සිදුවූවකි. එකල විදේශිකයන්ට මෙන්ම දේශීය ප්‍රභූන්ටද රට අභ්‍යන්තරයට යෑම සඳහා තිබූ එකම ප්‍රවාහන ක්‍රමය කන්ද උඩරට තැපැල් දුම්රිය සේවාව පමණි. කඩුගන්නාව දුර්ගය තරණය කරමින් එය ගමන් කළේ ගුරු පාරකය. මහා බ්‍රිතාන්‍යයේ එළිසබෙත් රැජිනට අයත් හිරු නොබසින අධිරාජ්‍යයේ ආසියාවේ ආරම්භ කරන ලද ප්‍රථම තැපෑල වූ මෙය Royal Mail වශයෙන් හදුන්වන ලදී.

ඓතිහාසික මහනුවර තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකරන ලද්දේ ක්‍රි.ව. 1867 දීය. ප්‍රථමයෙන් මෙමෙ ගොඩනැගිල්ල ජෝන් වෝකර් සහ පුත්‍රයෝ විසින් පවත්වාගෙන ගිය ‘බෝගම්බ්‍රා’ කෝපි කම්හලේ පිහිටීම විය. පසු කාලීනව ක්‍රි.ව 1897 දී ‘ගඩලදෙනිය විහාර’ සම්ප්‍රදායේ උඩරට ගෘහ නිර්මාණ ශිල්පයට අනුව බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල හෝටලයක් ලෙස භාවිතාවට විය. එය රේල්වේ හෝටලය එසේත් නොමැතිනම් ‘ස්ටේෂන් ග්‍රෑන්ඩ් හෝටලය’ ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබූ මනරම් හෝටල් සංකීර්ණයකි. දුම්රිය ස්ථාන නරඹන්නන්ගෙන්, බොහෝ විට දුම්රියෙන් පැමිණි වැවිලිකරුවන්ට මෙන්ම පැමිණෙන මගීන්ට නවාතැන් ගත හැකි ලෙස පිහිටා තිබූ අතර අතීත වාර්තාවන්ට අනුව කොළඹට යාමට දුම්රිය මාර්ගය භාවිතා කළ සමහර වැවිලිකරුවන්ට මෙම හෝටලයේ රාත්‍රිය ගත කිරීමටද සිදු විය. එමෙන්ම වර්තමාන තැපැල් කාර්යාලයේ ලියුම් කාමරය අතීතයේ බෝල්රූම් නැටුම් ශාලාවක් ලෙස භාවිතා කර ඇති අතර දිවා කාලයේ පදිංචිකරුවන් ඉහළින් නැටුම් නරඹන ලදී. මෙකී හේතු කාරනා නිසාවෙන් දුම්රිය ස්ථානය අසල ම එය පිහිටුවා තිබීම ස්ටේෂන් ග්‍රෑන්ඩ් හෝටලයේ ජනප්‍රියත්වයට හෙතූ විය. තවද මුලදී පැරණි ගොඩනැඟිල්ලේ කොටසක පොලිස් කාර්යාලය තිබූ අතර තවත් කොටසක තැපැල් කාර්යාලයක් වශයෙන් පවත්වාගෙන ගියේය. එහි ප්‍රථම තැපැල් නිලධාරියා ලෙස එච්. බයිට් මහතා පත්කර ඇත.

මහනුවර කෝපි වගාවෙන් ඉහළ ආදායමක් ලැබීමත් සමඟම ලාභදායි ප්‍රවාහන මාධ්‍යයක් වූ දුම්රිය සේවාවක් ආරම්භ කරන ලෙස වෙළෙන්දන්ගෙන් බ්‍රිතාන්‍යය ආණ්ඩුවට ඉල්ලීම් ඉදිරිපත්ව වන්නට විය. ඒ අනුව ඩෝසන් ඉන්ජිනේරුතුමාගේ සැලසුමකට අනුව මහනුවර – කොළඹ දුම්රිය මාර්ගය ඉදිවිය. ඉන් පසුව කුඩා දුම්රිය පොළක් ඉදීවීම ආරම්භ විය. එකළ දුම්රියපොළේ සිට හෝටලය දක්වා ගුවන් පාලමක්ද ඉදිවිය. නමුදු දුම්රියපොළ ඉදිවීමත් සමගම ස්ටේෂන් ග්‍රෑන්ඩ් හෝටලයේ පසුබෑමද ආරම්භ විය. දුම්රිය පොළේ නවතා ඇති වාෂ්ප එන්ජින්වල ශබ්දය මෙන්ම ගල් අඟුරු දුමාරයද, ජනාකීර්ණ පරිසරයද, ආගන්තුකයන් අපහසුතාවට ලක්කළ නිසාවෙන් වැවලිකරුවන් සහ ප්‍රභුන් වෙනත් ස්ථාන සොයා යන්නට විය. මෙකල මේරියන්ස් මැතිනියගේ කුවින්ස් (රැජින) හෝටලයට හා රමණීය පරිසරයක තිබූ සුවිස් හෝටලයට ආගන්තුකයන් ඇදී යෑම නිසා ස්ටේෂන් ග්‍රෑන්ඩ් හෝටලයේ පාලනාධිකාරිය ක්‍රි.ව 1902 දී එය වසා දැමීමට තීරණය කළහ. වසා දැමූ හෝටලය සොරුන්ගේ හා අපචාර සිදු කරන්නන්ගේ තිප්පොළක් වූ අතර මහජන පැමිණිලි සලකා බැලූ රජය මෙම ගොඩනැඟිල්ල රජයට පවරාගෙන ප්‍රතිසංස්කරණය කොට පොලිස් ගොඩනැඟිල්ලේ තිබූ තැපැල් කාර්යාලය මෙහි ස්ථාපනය කළේ ක්‍රි.ව 1903 දීය. රජයට පවරා ගැනීමෙන් පසුව පූර්ණ කාලීනව මහනුවර තැපැල් කාර්යාලය ලෙස භාවිතාවට ලක්විය.

මහනුවර තැපැල් කාර්යාලය ඉංග්‍රීසි පාලන සමයෙන් අපට ලැබුණු මහඟු තිළිණයක් වන අතර ජාතික උරුමයක් ලෙසද ප්‍රකාශයට පත් කර ඇත. වර්තමානයේ ප්‍රාදේශීය තැපැල් තෝරන මධ්‍යස්ථානය හා තැපැල් අභ්‍යාස ආයතනය ලෙස පවත්වාගෙන යන්නේද මෙම ඓතිහාසික ගොඩනැඟිල්ලේය. වර්ෂ 2005දී එය පුරාවිද්‍යාත්මකව සංරක්ෂිත ස්මාරක ගොඩනැගිල්ලක් ලෙස ගැසට් මගින් ප්‍ර‍සිද්ධ කරන ලදී. මෙහි ඇති ඓතිහාසික බව නිසාවෙනුත්, පිහිටීම නිසාවෙනුත් කලින් කලට මෙම ගොඩනැගිල්ල පෞද්ගලික ව්‍යවසායයක් සඳහා ලබා ගැනීමට පියවර ගත් නමුත්, යුනෙස්කෝව විසින් ප්‍රකාශයට පත් කරන ලද උරුම ගොඩනැගිල්ලක් බැවින් තැපැල් සේවකයින් එවැනි පියවරකට විරුද්ධ විය

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00