සටහන..අරුනඩෙල් විජේරත්න
ගිරය යනු අතීත පරම්පරාවන් අතර බහුල ලෙස භාවිතයට ගැණුනු, සරල ගෘහීය මෙවලමකි. එය කැපෙන තලය සහිත උඩු අත හා උඩු අත හැපෙන යටි අත යන දෑතින්ද, ඒ දෙක එකිනෙක සම්බන්ධ කරන කවාකාර හිසකින්ද සමන්විත වේ. ගිරය එකල බුලත් තට්ටුවක අනිවාර්යයෙන්ම දැක ගත හැකි වූ සුලභ මෙවලමක් විය. ගිරාකැත්ත යනු ලංකාවේ අනෙක් ප්‍රදේශ වල අසන්නට නොමැති නමුත් ජන වහරට අනුව දඹදෙණිය රාජධානිය කාලයේදී පාවිච්චි කල උපකරණයක් ය. එකල තිබූ වැවක සොරොව්ව මැරුණු ආඳෙකූගෙන් හිරවීම නිසා ජල ගැලීමක් ඇති වී ඇත.එවිට වීර පුද්ගලයෙක් ගිරාකැත්ත නම් උපකරණයක් සදා ජලයේ කිමිදී අවහිරය කපා ඇත.කලින් සකස් කල ලීවරය ක්‍රියාත්මක නොවූයෙන් ඔහු ද ජලය සමග ගසා ගොස් ඇත. එම ගිරය හමුවූ ස්ථානය අද ‘ගිරාකැතිකුඹුර’නමින් හැදින්වේ.
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත…..
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිණිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
………නම හැදුනු හැටි………
ගිරය යන නම තැනීමට මුල්වී ඇති “ගිර” යන වදන අරුත් කීපයක් ගෙන දෙයි. කන්ද, දිසාව, උස, කැපුම් උපකරණය වැනි අදහස් රැසක්ම ඉන් හඟවයි. ගිරයේ හිස ඇතුළු සම්පූර්ණ හැඩය, ගිරවා (පක්ෂියා) සිහිගන්වයි.
……..බිහිවීම……..
මිනිසා විසින් ලෝහ සොයා ගැනීමත් සමග නිපදවනු ලැබූ විවිධ මෙවලම් අතුරින් බිහිවූ තවත් එක් මෙවලමක් ලෙස ගිරය සැළකේ. භාවිත කරනු ලබන අරමුණ අනූව ගිරය වානේ, යකඩ, තඹ, පිත්තල, රන්, රිදී වැනි ලෝහ වර්ග වලින් නිමැවුණි.
තවත් විශ්වාසයකට අනූව ගිරය යනු සක්දෙවි විසින් මවනු ලැබූ මෙවලමකි.
…….භාවිතය……..
පුවක් ගෙඩිවල ලෙල්ල ඉවත් කිරීමටත්, වියළි හා අමු පුවක් මදය කපා ගැනීමටත් ගිරය බහුලව භාවිතා කරයි. එසේම දේශීය වෙදකම තුල නොයෙකුත් ඖෂධ වර්ග කපා ගැනීමටද ගිරය භාවිතා වේ. දෙවියන්ගේ ලෙඩ ඇති වූ විට කුඩා ගිරයක් අතේ එල්ලීමේ සිරිතක්ද පවතී.
……….ගිර වර්ග……….
•පොඩි ගිර
ආභරණයක් ලෙස ගෙල පැළඳීම සඳහා රන්, රිදී, තඹ, පිත්තල වලින් තැනූ ගිර.
•වැලකුම් ගිර
තනිකම් දෝෂ, කළු කුමාර දෝෂ වැනි දේ වැළැක්වීම සඳහා ගැහැණු දරුවන්ගේ ඉඟ පැළඳීමට තැනූ ගිර.
•වැඳුම් ගිරය
තිඹිරි ගෙය , වැදුම් ගෙය තුළ කාන්තාවක් දරුවකු වැඳු පසු ඉපදුන විටම දරුවා මවට සම්බන්ධ වූ පෙකනි වැල කැපීමට ගන්නා ගිරය “වැදුම් ගිරයයි”.
•පත්තිනි ගිරය
විවාහ චාරිත්රවලදී මනාලියගේ මවට පිරි නමන කිරිකඩසේලයේ ගැට ගසන ගිරය.
• කුමාරිහාමි ගිර
කාන්තාවන් කොන්ඩ බැඳිමට යොදා ගත් ගිර.
…….. ජන වහර………
“ගිරයට අසු උන පුවක් ගෙඩිය වගේ” වැනි ජන වහරයන් ගිරයේ සාමාජයීය බලපෑම් හඟවයි.
……..දේශීය සංස්කෘතිය තුල……..
යන්ත්‍ර මන්ත්‍ර ගුරුහරුකම්, ශාන්තිකර්ම, කොඩිවිණ කැපීම ආදී කටයුතු වලදී කිරීමේදී දෙහි කපමින් දෝෂ පහ කරවීමට උපයෝගී කරගන්නා ආයුධයක් ලෙස ගිරය සමාජ සංස්කෘතිය තුල භාවිතා වේ.
එසේම ඇදුරෙකු විසින් ආතුරයෙකුගේ හිසේ සිට දෙපතුල දක්වා ගෙන ගොස් විසි කර දමන ගිරය, භූමියෙහි පතිත වන දිශාව අනූව නිමිති ශාස්ත්‍ර කීමද, එකල ජන සමාජය තුල දැකගත හැකිවූ ගිරය හා බැඳි විශේෂ අංගයක් විය..