ceylonlknews.com

Ceylon Lk News

Home විශේෂාංග බින්තැන්නෙ අපි…..

බින්තැන්නෙ අපි…..

by CeylonLk
0 comments

සටහන..අරුනඩෙල් විජේරත්න

බින්තැන්නේ ජන වර්ග දෙකක් වෙසෙති. ඉන් බහුතරය සිංහල හේන් ගොවීයන්ය. හේන් ගොවියන්ගේ හැම පවුලක් අතරම නෑ සබඳතා පවතී. එහෙයින් ඔවුන් අතර සමගිය සාමදානය රජයන බව දක්නට ඇත ද ඉඳහිට ඇති වන අංකර ඇල්ලීමක්, කුඩිහබයක් හදි හටනක් බැණ ඇඬගැහිල්ලක් වැනි අවස්ථාවක එක එකා ආපස්සාදියට ලක්වෙන අන්දමට බැණ දොඩා ගන්නේ කනේ ගෝණ ඇට හිර කර ගන්නා තරමට හරුප ඇද බාමිනි.

අංකර අල්ලනවා යනු ගහ බැණ ගැනීම්ය. කුඩිහබ අනියම් ලිංගික සබඳතා නිසා ඇති වන සණ්ඩු දබරය. හදිහටන කෙනෙකුට කරන වැරැද්දක්, නපුරක් හේතුවෙන් ඇතිවන්නකි. බැණ අඬ ගැහිල්ල දෙපාර්ශ්වයක් එකිනෙකාට දොස් පවරා ගනිමින් ඝෝෂාකාරී ලෙස කෑකෝ ගසා ගැනීමය. අපස්සාදිය අපහාසයට ලක් කිරීමය.

ගැමි ජන දිවිය තුළ මෙවැනි ගැටුම් ඇති වුවද ඒවා දුරදිග නොයන්නේ ගමේකම නිසාය. ගම් දනව්වල ඇත්තේ එකිනෙකා අතර පවතින සහජීනය පදනම් කර ගත් ජීවන රටාවකි. එහෙයින් යම් යම් උරට්ටු ඇල්ලිලි උල්ලිනකම් ඇති වුණද මිනීමැරීම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ ආදී බලගතු අපරාධ දූෂණ ඇති නොවේ.

එකිනෙකාට ඉහළින් වැජඹීමට කෙරෙන වැඩ උරුට්ටු ඇල්ලීමය. රහසේ කරන යටි කූට්ටු වැඩ, හදි හූනියම් කිරීම උල්ලිත වැඩ ලෙස ගැමියෝ සලකති. කුඩු කේඩු වැඩ ලෙසද පඩත්තර වැඩ ලෙසද මේවා හැඳින්වෙයි. මේ ආකාර පඩත්තර වැඩ කරන්නේ අංගපුලාවකට නැති එවුන්ය.

බින්තැන්නේ සිටි එවැනි අංගපුලාවකට නැති එකෙක් ලෙස හංවඩු ගැසුණ තැනැත්තා වූයේ වන්නකු තිසාහාමි හෙවත් මිනීමරු තිසාහාමිය. ඔහු සිංහල හේන් ගොවි හා වැදි ගෝත්‍රික ජන මූලයකින් පැවත එන්නෙකු හෙවත් අර්ධ වැද්දෙකි. හෝලිකේ උපන් ඔහු ගැටවර වියේදීම වන දිවියට ඇලුම්කර වනගත වූවෙකි. පසු කලක බින්තැන්නේ වන ගැබ හෙල්ලූ වීරයෙකු බවට පත් වූ ඔහුගේ ඥාතිහු තවමත් දිගාමඩුලු බින්තැන්නේ වෙසෙති. (දඹානේ වැදි නායක තිසාහාමි නොවේ.

මේ අනුව දිගාමඩුලු බින්තැන්නේ ජන සංයුතිය සිංහල හේන් ගොවි වැදි ගෝත්‍රික හා අර්ධ වැදි හෙවත් සිංහල වැසි (සම්මිශ්‍රණ) යන කොටස් තුනකින් යුක්ත බව දක්නට ඇතැයි කීවොත් එය නිවැරදිය. මොවුන්ගේ නම් ගොත් හෙවත් පුද්ගල නාම දේශීය ගැමි ආරක් ගත් ඉතා සරළ ඒවාය. වනාන්තර ආශ්‍රිතව වූවන් වන්නි බණ්‍ඩාර, වන්නි මුදියන්සේලාගේ වූ අතර තලාව ආශ්‍රිත විසූවන් තලාබණ්ඩාර විය. ඒ හැර රන්හොටි බණ්ඩාර, අත්තනායක මුදියන්සේලාගේ, ජයසුන්දර මුදියන්සේලාගේ, හේරත් මුදියන්සේලාගේ, කෝණාර මුදියන්සේලාගේ, මුහන්දිරම් මුදියන්සේලාගේ, වාසල වන්නි මුදියන්සේලාගේ ආදී ඇති මෙම හැම වාසගමක්ම පාහේ උඩරට ගොවි කුලයට අයත්ය.

මෑත යුගය තෙක්ම ස්වාධීන මිනිස් කොටසක් ලෙස ජීවත් වූ මොවුන්ගේ සංස්කෘතික ලක්ෂණ කිසිදු හැල හැප්පීමකට හසු නොවී ආරක්ෂා වූයේ දිගාමඩුලු වන බිම ඔවුන්ගේ ස්වාධීන ආරක්ෂක පවුරක් වූ හෙයිනි. හද්දා පිරිසර වසන නියම සිංහල ගැමියෙකුගේ හැඩරුව ගති ගුණ දකින්නට නම් අද වුවද ඔබ යා යුත්තේ බින්තැන්නේ ඈත එපිට වන වදුලෙන් වට වූ බැදි ගම්මානයකටය.

කටපුරා හැපුණු බුලත් විටකින්ද මුහුණ පුරා වැවුණ ගොරෝසු ඝන රැවුලකින්ද පිටුපසට කර පීරා බඳින ලද කොණ්‍ඩයකින්ද එයකටපුරා හැපුණු බුලත් විටකින්ද මුහුණ පුරා වැවුණ ගොරෝසු ඝන රැවුලකින්ද පිටුපසට කර පීරා බඳින ලද කොණ්‍ඩයකින්ද එය වැසෙන්නට බඳින ලද මූණ්ඩස්නයකින්ද අමුඩ හීරුවකින් හා වලාපට ගසා ගත් සරම්පටකින් ද සැරසුණු ගැමියකු ඔබට එහිදී දැකබලා ගත හැකි වේ. එදා සිට මෙබඳු ගැමියන්ගේ නම් ගොත් (වාසගම්) අපූරත්වයෙන් යුතුව නිර්මාණය වී ඇත්තේ පරිසරය ආශ්‍රිතව හෝ ඓතිහාසික සංසිද්ධියක් ආශ්‍රිතවය. ඔවුන් තම පෙළපත් නාමය මහ ඉහළින් අගේ කොට සලකයි. පොල්ලෙබැද්දේ විසූ ගමරාල උන්දෑගේ නාමය රන්හොටි බණ්‍ඩාරලාගේ යනුවෙන් සඳහන් කරන්නේ මහත් උජාරුවෙනි.

‘අඩා තගේ නාමෙ මොකක්’ යැයි කෙනෙකු තම එකෙකුගෙන් අසන්නේ වාසගම කුමක්ද යන්නය. එවිට තම පෙළපත් නාමය හඳුන්වන කෙනෙකු තලා බණ්‍ඩාර වරිගේ හෝ දානිගල මහ බණ්ඩාර වරිගේ කීවොත් ඔවුන් අයත් වන්නේ වැදි ජන වර්ගයේ බණ්ඩාර හත්කට්ටුවටය.

බණ්‍ඩාර වරිගේ වැද්දන් රාජවාසලින් සම්මාන ලත් රජුට හිතෛෂිව සිටිවුන් හෙයින් ඔවුන් වැදිරැහේ අතරින් උසස් කොට සැලකෙන නමුත් වැද්දන් අතර උසස් පහත් කුල බෙදුමක් නැත. උෟරුවරිගෙ, මොරානවරිගෙ, අැඹලාන වරිගෙ, රූගම වරිගෙ ආදී වශයෙන් වැදි ජන සමාජයේ බෙදීම් දක්නට ඇත්තේ ඔවුන් ජීවත් වන ප්‍රදේශ උප්පත්තිය ඇතිවූ අන්දම හා රාජ්‍ය වරප්‍රසාද අනුවය.

වැද්දන්ගේ පුද්ගල නම් ඉතා කෙටිය. සරලය. ගෝඹා, ගෝඹිරා, රන් දුන්නා, පොරෝමලා, වන්නකුවා, හීනා, පුසුඹා, සුදා වන්නියා, තිසා, වීරා, කිරියා, තුතා, හීන් තුතා, කයිරා, කළුවා, තඩියා වැනි පිරිමි වැද්දන්ගේ නම් මෙන්ම හැන්දි, හැඳී, කළුෑ, පුසුඹී, රතී, තුතී, පුංචි, තාඩි, මලී ආදී ගැහැණු නම් ද විච්චූර්ණවලින් තොරය.

සිංහල හේන් ගොවියන්ගේ නම් ඊට වඩා දීර්ඝ මෙන්ම සාඩම්බර ලෙසින් සෑදී ඇති බවක් දක්නට ඇති අතර පසුකාලීන නම් අතර දකුණේ සිංහල නම්වල ආභාසයක් දක්නට ඇත. එහෙත් පැරණි නම්වල ඇත්තේ උඩරට ගොවිකුලයේ නම්වල ආභාසය බව සුදු බණ්‍ඩා, කළු බණ්ඩා, ජය බණ්‍ඩා, ගුණ බණ්ඩා, කිරි බණ්‍ඩා, කුඩා බණ්ඩා, ලොකු බණ්‍ඩා, අප්පුහාමි, ගමණ්ඩි, ගමරාළ, හීන්රාළ, හීන් ගමණ්‍ඩි යන පිරිමි නම්වලින් මෙන්ම සුදු මැණිකේ, සුදු කුමා, කළු මැණිකේ, කළු කුමා, රන් මැණිකේ, මලිති, පුංචි මැණිකේ, හීන් මැණිකේ, ලොකු මැණිකේ ආදී ගැහැණු නම්වලින් දආකාරයට පුද්ගල නාම යොදා ගත්තද බොහෝ විට ඒවා ව්‍යවහාරයේදී කටවහරට සුදුසු ලෙස වෙනස් කර ගැනීමත් හඳුනාගැනීමේ පහසුව සඳහා අන්වර්ථ නාමයන් භාවිතා කිරීමත් දිගාමඩුලු බින්තැන්නේදී දක්නට ලැබෙයි. උපන්ගම අනුවද ශාරීරික ලක්ෂණ අනුව ද ගති පැවතුම් චරිතය හා කියුම් කෙරුම් අනුව ද මෙවැනි අන්වර්ථ නාමයන් බහුලව යොදා ගැනීම හේතුවෙන් එම යෙදුම් කෙරෙහි එකී තැනැත්තන් කිසිදු විරෝධතාවක් නොදක්වයි.

නෙල්ලියද්දා, බිංගොඩයා, වරාපිටියා, හෝලිකා, වෙල්ලස්සයා, අම්පාරයා, නුවරයා, කොළඹයා, දවුටා, දමනේගමයා, දමනේගම බූඩා, ලඩ්ඩ බූඩා, රැවුල්කාර මුත්තා, වෙද මුත්තා, ගුරු මුත්තා, ගල් ඔලුවා, මහය්යා, හීන් කොල්ලා, බඩ ටිකිරා, හීන් ගුණේ, මයිගෝටා, කරුණෑවා වැනි එවැනි නම් ඔවුන්ගේ විශේෂත්වය දැක්වීමට යොදා ගන්නා ගැමියන් උසින් වැඩි සුදු බණ්ඩාර, දිග සුදු බණ්ඩා නොකියා දිගා යනුවෙන් භාවිතා කරයි. කරුණෑවා යනු කරුණාරත්නය. හීනා යනු හීන් බණ්‍ඩාය.

ඇතැම් විට මස්සිනාට මසිනා කියන ඔවුන් ලොකු මස්සිනාට කියන්නේ මහ මිනිහා යන අපුරු යෙදුමෙකි. බිංගොඩයා, මයෙ ඇත්තිගෙ අයියණ්‍ඩිලත්, ඔයි මහ මිනිහා මෙහෙව් සංගදියක් මට කෙළානේ යනුවෙන් බිංගොඩ ගමේ වෙසෙන තම ලොකු මස්සිනා කළ උල්ලීනකමක් ගැන කියන්නේ අපූරු පද සංකලනයක් තුළිණි. ඒ කියමන තුළ තරහවක් වෛරයක් ක්‍රෝධයක් දිස් නොවේ. ඉන් කියැවෙන්නේ තමාට සිදුවූ කරදරය ගැන අඬෝවැඩියාවකි.

ගැමි හැදියාව ඥාති සබඳතාවයට කෙරෙන සැලකීම ඉන් වහනය වෙයි. පිරිමින් කෙරෙහි මහ මිනිහා යැයි යෙදුවද ගැහැණුන් කෙරෙහි එවැනි ඇමතීමක් හෝ හැඳින්වීමක් නොකරන ගැමියෝ මහල්ලන්ට බූඩා, බූඩින්දෑ යනුවෙන් ද මැහැල්ලන්ට හොටි අම්මා යනුවෙන්ද හිතවතාට බොටා යනුවෙන්ද වහරති. වර්තමානයේ යෙදෙන මචං යන සංකර ඇමතුම කටවහරට ඒමට පෙර බොටා යන්න සම වයසේ මිතුරන් සඳහා ගැමියන් යොදා ගත්තේය.

බින්තැන්නේ වන රුකුලට උරන්වාසිකම් කියන ගමණ්ඩිලා හා සුදුකුමිලා හා උන්ගේ නාම්බන් නෑම්බියන් ගැනත් වන රුකුලෙන් ගම්පොජ්ජට මංගජ්ඡපු වන්නියල ඇත්තන් ගැනත් වග විත්ති සැක්කර ගෙන තව තවත් ලියාපන් බොටා යැයි පියසේන කහඳගමයන් මට එදා කීවේ ඒ සුහදශීලී ලෙන්ගතු බව මතු කෙරෙන වන වහර යොදා ගනිමිනි.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00