ceylonlknews.com

Ceylon Lk News

Home විශේෂාංග දළදා මාලිගාවේ ළිඳට වතුර එන්නේ වැඩ සිටින මාලිගාව යට උල්පතකින්…

දළදා මාලිගාවේ ළිඳට වතුර එන්නේ වැඩ සිටින මාලිගාව යට උල්පතකින්…

by CeylonLk
0 comments

සටහන..අරුනඩෙල් විජේරත්න

මහනුවර නගරයේ අද නම් ළිං ඇති ඔිනේතරම්.ඒත් රජ සමයේ මහනුවරට තිබු වැදගත්ම ළිං දෙකක් ගැනයි අද කියන්නේ. මහනුවර ළිං දෙකම රජ සමයේ ඒවා.අදත් මේ ළිං දෙකම ඒ ආකාරයෙන්ම දකින්න පුළුවන්.මේ එක ළිඳක් තියෙන්නේ දළදා මාලිගාවේ.ඒ කියන්නේ මාලිගාවේ මුළුතැන් ගෙය ළඟ.එහෙමත් නැත්නම් කාර්යාලය අසල.

අනෙක් ළිඳ තියෙන්නේ මල්වතු මහ විහාරයට පිවිසෙන වාහල්කඩ ළඟ.ඒ කියන්නේ දළදා මාලිගාවට අනෙක් පැත්තේ වැව අයිනේ තමයි ඒ ළිඳ තියෙන්නේ.

ඉතින් දළදා මාලිගාවේ තියෙන මේ ළිඳ ගැන පොඩ්ඩක් මුලින්ම කියන්නම්.මේ ළිඳ සකස් කරලා තියෙන්නේ් දළදා මාලිගාවට වතුර ගන්න.දළදා වහන්සේට පැන් පුජා කරන්න වගේම දළදා මාලිගාවේ වෙනත් කටයුතු සදහා තමයි රජතුමා මේ ළිඳ ඉදිකරවලා තියෙන්නේ.ඒ කාලේ දළදා මාලිගාව කියන්නේ වැඩ ඉන්න මාලිගාව කොටස විතරනේ.වැඩ ඉන්න මාලිගාව උඩ තමයි රන්වියන ඉදිකර තියෙන්නේ.ඔය පත්තිරිප්පුව ,වටේ අනෙක් ගොඩනැගිලි පසුවනෙ ඉදිවන්නේ.පැරණි ජායාරූප වල ඔබ එය දැකලත් ඇති.ඉතින් වැඩසිටින මාලිගාවට පහළින් තමයි මේ ළිඳ ඉදිකරල තියෙන්නේ.රජ කාලේ මහනුවර තිබුණු ප්‍රධානම ළිං දෙක තමයි ඒ.මේ ළිඳ ඉදිකරන කාලේ මහනුවර වැව එහෙම නැහැ.

හැබැයි මේ දළදා ළිදෙන් සුදද්න්ගේ කාලෙත් ප්‍රයෝජන අරන් තියෙනවා.ඉන් පස්සේ එය වල් බිහිවෙලා වගේ තිබිලා තියෙන්නේ.මෑතක් වනතුරු ළිඳ වැහිලා තිබිලා තියෙන්නේ

රජකාලේ ඉදිවු මේ ළිඳ ගැන අපි අහලා තිබුණාට අපෙත් වැඩි අවධානයක් ඒ ගැන තිබුණේ නැහැ.නමුත් දළදා මාලිගාවේ රන් වියන හදන කාලේ තව තව ප්‍රතිසංස්කරණ කරද්දි මේ ළිඳත් නැවත ප්‍රයෝජන ගන්න පුළුවන් විදියට හදන්න ඔිනේ කියලා තේවාවේ හිටපු උඩුවාවල චන්දානන්ද හාමුදුරුවෝයි මායි තීරණය කළා.ඒ අනුව අපි මේ ළිඳ සුද්ද කරලා ඉස්සෙව්වා.ළිඳට හොඳට වතුර උණනවා.අ⁣පි ඒ ගැන තවත් උනන්දුවෙන් බලනවිට ඒ ළිඳට වතුර එන්නේ වැඩසිටින මාලිගාව යට උල්පතකින් කියලා තේරුණා.ඒ කියන්නේ දළදා වහන්සේ වැඩ සිටින මාලිගාව ඉදිකරලා තියෙන්නේ පොකුණක් උඩ කියලා කියන කතාව තවත් තහවුරු වෙනවා.මේ ළිඳේ වතුර බීමට සුදුසුද කියලා මම ඒ කාලේ පේරාදෙණියට යවලා පරික්ෂණයක් කෙරෙව්වා.ඒත් බීමට සුදුසු ත්ත්වයක නැහැ කියලා තමයි ඒ පරික්ෂණවලදි කිව්වේ.ඒත් නිසා මාලිගාවේ වෙනත් වැඩවලට ප්‍රයෝජන ගත හැකි නිසා ළිඳට මෝටරයක් දැම්මා….”

මාලිගාවේ ළිඳ ගැන විස්තර ඇහැව්වාම හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහත්මයා මා සමඟ කිව්වේ එහෙමයි.

ඉතින් මහනුවර තියෙන අනෙක් ඓතිහාසික ළිඳ ගැන විස්තරයත් කියන්නම්..මේ ළිඳට ලොකු ඉතිහාසයක් තියෙනවා.මේ ළිඳ තියෙන්නේ මහනුවර මල්වතු මහ විහාරයට පිවිසෙන වාහල්කඩ ඉදිරියෙන්.ඒ කියන්නේ ඔබ මාලිගාව වැඳපුදාගෙන නිදහස්ව වැව රවුමෙි ඇවිදිනවානම් මේ ළිඳ හමුවෙනවා..ඒ කියන්නේ මාලිගාව තියෙන පැත්තේ නොව අනෙක් පැත්තේ තමයි මේ ළිඳ තියෙන්නේ.

ඉතින් අපේ අවසන් රජතුමා කවුද කියලා කවුරුත් දන්නවනේ.ඒ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ (ක‍්‍රි.ව 1798 – 1815) මහරජතුමායි.. පත්තිරිප්පුව , දර්ශනීය වලාකුළු බැම්මක‍් මාලිගාව ඉදිරියෙන් ඇති වැව, මේ සියල්ල ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ කළ නිර්මාණ.මේ සියල්ලේ සැලසුම් ශිල්පියා වුයේ රාජකීය ගෘහ නිර්මාණ ශිල්පියා වූ දේවේන්ද්‍ර මූලාචාරියායි.

ඔය මාලිගාව ඉදිරිපිට දැනට තියෙන වැව නිර්මාණය වුණේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ වෙන්කතරංගම්මාල් බිසවගේ ඉල්ලිමකට කියලයි සදහන් වන්නේ.ඇය ඉන්දියාවෙි හිටපු මාලිගාව අසලත් වැවක් තිබි ඇති අතර නුවර රජමාලිගාව අසලත් වැවක් හදන්න කියලා ඇය රජුට ඉල්ලිමක් කළ බව කියනවා.

හැබැයි ඒ වනවිට නුවර බෝගම්බර වැව තිබුණා.මේ නිසා නුවරට වැව් දෙකක් අවශ්‍ය නැහැ කියලා පිලිමතලව්ව ,ඇහැලේපොල ආදි අධිකාරම්වරුන් ප්‍රකාශ කළා.

ඒ වගේම ඒ වනවිට හොඳ වී අස්වැන්නක් ලැබුණු ටිගොල්වෙල කුඹුරු යාය හාරලා තමයි වැව හදන්න සුදානම්වුණේ.ඒ නිසා අධිකාරම්වරුන් ඊට විරුද්ධ වුණා.

නමුත් වෙන්කතරංගම්මාල් බිසවගේ කැමැත්තට අනුව , පුරෝහිතයන් ලෙස කටයුතු කළ බිසවගේ පාර්ශවයේ යන්ත‍්‍ර, මන්ත‍්‍ර, ගුරුකම් දන්නා මන්ත‍්‍රාචාරීන්ගේ සහාය පමණක් හා මොල්ලිගොඩ අදිකාරම්ගේ සහායද ඇතිව රජතුමා වැව සෑදීමට පටන් ගත්තා.

දළදා මැදුර සහ මල්වතු විහාරය අතර තිබූ ටිගොල්වෙල කුඹුරුයාය දිගු ලියැදි පේළි සහිතව පිහිටා තිබුණේ ඉතාමත් අලංකාර අයුරින්.කුඹුරු යායේ අයිතිකරුවන්ගෙන් එය බලෙන් පවරාගත් බවත් කියනවා.

ආරම්භයේදී නුවර අසල කෝරලවල සිටි ගැමියන් සියලූදෙනාම වැවේ වැඩට පැමිණිය යුතුයි කියලා රාජ ආඥාවක් කළා.හැබැයි මිනිසුන්ට වැටුපක් හෝ ආහාර සැපයීමක් කරලා නැහැ.

. ටිගොල්වෙල කුඹුර වැවක් බවට පත්කරන්න හාරන්න පටන් ගත්තා. එකතැන පල් වූ ජලයෙහි බොහෝ වේලා බැස සිටීම නිසා ශරීරගත වූ විෂබීජයෙන් හටගත් රෝග වලින් බොහෝදෙනෙක් මිය ගියා.

නුවර වේල්ලක් බැඳීම සඳහා මිනිසුන් දෙදහසත් තුන් දහසත් අතර සංඛ්‍යාවක් යොදවා ඇති බව ⁣ජෝන් ඩොයිලිගේ 1812 පෙබරවාරි 13 වෙනි දින දිනපොත් සටහනේ දැක්වෙනවා.ඉතින් මේ වැව ගැන මීට පෙර සදහන් කළා නිසා අපි දැන් කලින් කිව්ව ළිඳ ගැන විමසා බලමු.

මේ ටිගොල්වෙල කුඹුර කෙළවරෙහි තමයි මල්වතු විහාරයට අයත් ළිඳ තිබුණේ.එ ළිඳෙන් තමයි මල්වතු මහනාහිමියන් ඇතුළු මල්වතු නාහිමිවරුන් ස්නානය කළේ. . ටිගොල්වෙල වෙල් යාය කපාගෙන යද්දි මල්වතු මහා විහාරයට අයත් ළිඳ ද, එතැනින් ඉවත් කිරීමට යන බව මල්වතු මහා විහාරයේ මහනායක ඇතුළු නාහිමිවරුන්ට දැනගන්න ලැබුණා.

මල්වතු විහාරයේ හිමිවරුන්ට ස්නානය සදහා තිබු ළිඳ අහිමි වෙන්න යන බව දැනගත්ත නාහිමිවරුන් ඒ බව කියන්න රජමාලිගාවට වැඩියා .

ළිඳ ඉවත් නොකරන ලෙස නාහිමිවරුන් කළ ඉල්ලිමට රජතුමා කිසිවක් නොකියා නිහඬව සිට තිබෙනවා.මොකද මහ සංඝරත්නය සමඟ අමනාප විය නොහැකි නිසා රජු නිහඬව සිටි බවත් කියනවා.නමුත් රජුගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා මල්වතු මහානායක ස්වාමීන් වහන්සේ ඇතුඵ සියලූම භික්ෂූන් වහන්සේද, ඇහැලේපොළ, පිලිමතලව්වේ අදිකාරම්වරු ඇතුලු නුවර වැසියන් ද ඊට විරුද්ධත්වය ප‍්‍රකාශ කරන්න වුණා.මේ නිසා වැවේ වැඩකරපු ජනතාවත් ඒ වැඩ වලින් ඉවත් වුණා.

මෙයින් රජතුමා හොඳටම කිපුණා.

වැවෙහි ඉතිරි වැඩ කොටස අවසන් කිරීම සඳහා සත් කෝරලයෙන් මිනිසුන් ගෙන්වා දෙන මෙන් රජු නියම කළා.. ඒ අනුව මිනිසුන් එකසිය අනූ දෙනෙක් පැමිණ වැඩ කිරීම ආරම්භ කළ ද, මල්වතු මහනායක හිමියන්ගේ විරුද්ධත්වය නිසා ඔවුන්ද වැඩ නතර කර තිබෙන බවත් සදහන් වෙනවා.ඒ නිසාම රජතුමාට ළිඳ අතහැර දැමීමට සිදුවුණා.ළිඳට හානියක් සිදු නොකළ බැවින් මහානායක හිමියන්ගේ විරුද්ධත්වය පහව ගියා.

මිනිස්සුන්ගේ උද්ඝෝෂණයත් නතර වුණා. සත්කෝරලේ මිනිස්සු ඇතුඵ නුවර වැසියෝ වැවෙහි යළි වැඩ කිරීමට පටන් ගත්තා..

නුවර වැව රවුමේ මල්වතු මහා විහාරයට පහළින්, සහ මල්වතු විහාරයේ වාහල්කඩ අසල වැව රවුමේ අදත් තියෙන්නේ , එදා මල්වතු මහානායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය විසින් කිරි මුහුදට යට වීමට නොදී ආරක්ෂා කර ගත් ළිඳයි.දැන් එය අලූත්වැඩියා කර තියෙනවා.මේ ළිඳ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන කාලයටත් පෙර ඉදිවුවක් බවයි සදහන් වන්නේ.මේ ළිඳට යතුරු තුනක් තියෙනවා.ඒ යතුරු තියෙන්නේ මල්වතු විහාරයේ පන්සල් තුනක.ළිඳ වටකර බැම්මක් බැඳලා දොරවල් දාලා තියෙන්නේ.ඒකයි යතුරු තුනක් දාලා වහලා තියෙන්නේ.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00