ceylonlknews.com

Ceylon Lk News

Home විශේෂාංග ගල්කිස්ස මහ හෝටලයේ ආදර කතාව..

ගල්කිස්ස මහ හෝටලයේ ආදර කතාව..

by CeylonLk
0 comments

සටහන..අරුනඩෙල් විජේරත්න

ගල්කිස්ස මහ හෝටලය නැතිනම් Hotel Mount Lavinia මෙරට පමණක් නොව ලෝකයේ බොහෝ සංචාරකයන් අතර ප්‍රසිද්ධ හෝටලයක්. සුදු අධිරාජ්‍යවාදීන් විසින් සෑදූ මේ ප්‍රතාපවත් දැවැන්ත ගොඩනැගිල්ල සඟවා සිටින රහස් ද බොහොමයක් වනවා.

එහි ඇති උමං මාර්ගය සුප්‍රකට රහසක්. ඔබ කොළඹ සිට ගාල්ල දෙසට මුහුදු බඩ දුම්‍ රියේ ගමන් කරන්නේ නම් ගල්කිස්ස මහ හෝටලය අසලින් ඔබ ගමන් කරන්නේ එම උමං මාර්ගය මතින්. මේ උමං මාර්ගය සේම ගොඩනැගිල්ල ද ඉදිවන්නේ මෙරට දෙවනි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ලෙස ක්‍රි.ව 1805 දී පත්ව ආ තෝමස් මේට්ලන්ඩ් විසින්.

ඔහු මෙරටට පැමිණි පසු ඉහළ මට්ටමේ සාදයක් ඔහු වෙනුවෙන් සංවිධානය කරල තිබුණා. එහිදී රොඩී කුලයේ තරුණියන් කිහිප දෙනෙක් ඔහු ඉදිරියේ රංගනයෙ යෙදිල තියෙනව. මේ අතරෙ හිටපු එක් සුරූපී තරුණියක් පිළිබඳ ඔහු උනන්දු වෙනවා. ඒ අවදානය අවසන් වන්නේ ඔවුන් දෙදෙනා ආදරවන්තයන් වීමෙන්.

ඇගේ නම ලොවීනා අවිවාහක නව යොවුන් තරුණියක්. පියා පෘතුගීසි ජාතිකයෙක් වීම නිසාම ආකර්ෂණීය යුවතියක් වූ බව කියවෙනවා. ආණ්ඩුකාරවරයා මේ වන විට හතලිස් හත් හය අවිවාහකයෙක්. හිරු නොබසින අධිරාජ්‍යයේ ආණ්ඩුකාරවරයෙක් පහත් යැයි සම්මත කුලයක අයෙක් ආදරවන්තයන් වීම අනාගතයේ ගැටලුවක් විය හැබැයි බව ඔහුම තේරුම් ගන්නවා.

මේ නිසා ඔහු වර්තමාන ගල්කිස්ස නගයේ මුහුද අද්දර තම නිල නිවහන ඉදි කරන්න තීරණය කරනවා. එය ඉදිවන්නේ රොඩී ගම්මානය පෙනෙන මානයේ. මේ අතරේ නිල නිවසේ සිට රෝඩී ගම්මානය දක්වා උමං මඟක් ඉදි කරවීමටත් ඔහු කටයුතු කරනවා. ඉන් අනතුරුව වසර ගණනක් පුරාවට ඇය තම ප්‍රේමවන්තයා සොයා යන්නේ මේ රහසිගත උමඟ තුලින්.

මේ අසම්මත ආදරය නිසාම තම ජනතාවට බොහෝ දේ දනා දෙන්න ලොවීනා සමත් වෙනවා. එතෙක් රොඩී ස්ත්‍රීන්ට උඩු කය වැසීමට අවසර තිබුණේ නැහැ. ඒ වගේම ඔවුට පල දෙකක පිදුරු සෙවිකල නිවාස ඉදි කරන්නට අවසර තිබුණෙත් නැහැ. ආණ්ඩුකාරවරයා වෙතින් මේ සියලු තහනම් ඉවත් කරගන්නට ලොවීනා සමත් වෙනවා.

නමුත් මේ ආදර කතාව ලොවට රහසක් විදිහට පවත්වාගෙන යන්නට ලැබෙන්නෙ බොහොම ටික කාලයක්. බ්‍රිතාන්‍ය නිලධාරීන් ආණ්ඩුකාරවරයා ගේ මේ ක්‍රියාකලාපය එංගලන්තයේ තුන් වන ජෝර්ජ් රජතුමා දක්වාම ගෙනියනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ආණ්ඩුකාර ධූරයෙන් ඉවත් කොට වහාම රටින් පිටවෙන්න අණ ලැබෙනවා.

ලොවීනාට සමු දී ඔහු නැව් නගිද්දි, තමන් කෙදිනක හෝ ඇය රැගෙන යන්නට පැමිණෙන බව ඇයට පොරොන්දු වෙනවා. මෝල්ටාවෙ ආණ්ඩුකාර ධූරයට පත්වෙන ඔහු වයස 64 දි මිය යන්නෙ අවිවාහකව. ලොවීනා තම ප්‍රේමවන්තයා අහිමි වීමෙන් හටගත් ශෝකයෙන් සියදිවි නසාගත් බවත් කියවෙනවා.

කලක් ආණ්ඩුකාර නිල නිවස වූ මෙය, දෙවන ලෝක යුධ සමයේ හමුදා රෝහලක් ලෙසත් යොදා ගැනෙනවා. පසුව එය ගල්කිස්ස මහ හෝටලය බවට පරිවර්තනය වෙනවා. තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගෙ ඉල්ලීමකට අනුව ඇගේ පෙම්වතිය සිහි කරමින් මවුන්ට් ලැවීනියා ලෙස එම ප්‍රදේශය නම් වෙනවා.

ආදරයේ සංකේතයක් බදු මේ උමං මාර්ගය පසු කලෙක දී වසා දැමෙනවා. අද ගල්කිස්ස මහ හෝටලයේ වයින් ගබඩාව පිහිටි ස්ථානයේ එහි කොටසක් දකින්න පුළුවන්. ඒ ස්ථානයේ අද දකින්න ලැබෙන්නෙ හෝටලයේ මුළුතැන් ගෙය. ඒ වගේම උමගෙ අනික් කෙලවර ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාල භූමියේ ඇතැයි සැලකෙනවා.

ආදරයේ සංකේතයක් බදු මේ ඓතිහාසික උමං මාර්ගය සඳහටම වසා දැමුනද, තෝමස් මේට්ලන්ඩ් ලොවීනා ආදරය ලොව පුරා ප්‍රසිද්ධියට පත් වෙනවා. අදටත් ඒ ඓතිහාසික ආදරයට ඇලුම් කරන මිනිසුන් එහි අවශේෂ දැක ගන්නට ගල්කිස්ස මහ හෝටලයට පැමිණෙනවා.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00