ceylonlknews.com

Ceylon Lk News

Home විශේෂාංග කොළඹ විහාරමහා දේවි උද්‍යානය ඉදිරිපිට පිහිටුවා තිබෙන අපූරු ගෘහ නිර්මාණ

කොළඹ විහාරමහා දේවි උද්‍යානය ඉදිරිපිට පිහිටුවා තිබෙන අපූරු ගෘහ නිර්මාණ

by
0 comments

කොළඹ විහාරමහා දේවි උද්‍යානය ඉදිරිපිට පිහිටුවා තිබෙන අපූරු ගෘහ නිර්මාණ ශිල්පයන්ගෙන් අනූන වූ කොළඹ නගර ශාලාව හඳුන්වන්නේ කොළඹ මහ නගර සභාව සහ කොළඹ නගරාධිපති කාර්යාලය ස්ථාපිත කර ඇති ප්‍රධාන මූලස්ථාන ගොඩනැඟිල්ල ලෙසයි. මෙය නෙත ගැටෙන විදේශීය සංචාරකයකුට වුවද මෙම ගොඩනැඟිල්ල ඔවුනගේ මතකයන්ට එක් කරන්නේ කොළඹ අනන්‍යතාවේ සලකුණක් ලෙසිනි. මීට වර්ෂ 152කට ඉහතදී පිහිටුවූ කොළඹ නගර සභාවේ වත්මන් ගොඩනැඟිල්ලේ සැලසුම සහ ඉදිකිරීම සිදුවූයේ එස්.ජේ. එඩ්වඩ් ගෘහ නිර්මාණ ශිල්පියාගෙනි. මේ එම අපූරු ගොඩනැඟිල්ල ඉදිවූ ආකාරය පිළිබඳ රසවත් ඉතිහාසයක සටහනයි.


මෙරට පළමු වන නාගරික සභාව සංස්ථාපනය කරනු ලැබුවේ 1865 අංක 17 දරන ආඥා පනතිනි. අලුතින් පිහිටුවන ලද නාගරික සභාවේ මුල්ම කාර්යයන් අතරෙන් එකක් වූයේ නගර ශාලාවක් ඉදිකිරීමයි.
මානක දෙපාර්තමේන්තුවේ ජී. බර්ටන් මහතා විසින් අඳින ලද සැලැස්මක් නාගරික සභාව විසින් පිළිගත්තේය. පොළෝ මට්ටමෙන් යට තට්ටුවේ ගබඩා කාමර ඇති කිරීමට ද බිම මහලයේ කෞතුකාගාරයක්, පුස්තකාලයක්, ශාලාවක්, උසාවිය ද මහෙස්ත්‍රාත්වරයාගේ කාමරය ද ඉහළ මාලයේ සභා ගර්භය, කාරක සභා කාමර සහ ලේකම්වරයාගේ හා කර්මාන්ත අධිකාරියේ කාර්යාලයන් ද සඳහා මේ යෝජිත සැලැස්මෙන් ඉඩ වෙන් කර තිබිණි. වහල ආවරණය කිරීමට අදහස් කර තිබුණේ තහඩුවලිනි.ප්‍රාදේශීය ගොතික් ගෘහ නිර්මාණ ශිල්පය අනුව සෑදීමට යෝජනා කරන ලද මෙම ගොඩනැඟිල්ලේ පළමු වැනි සැලැස්ම සභාවේ පළමුවැනි පාලන වාර්තාවට ඇතුළත් කර තිබේ. නගර ශාලාව හා වෙළෙඳපොළ තැනීමේ ඇස්තමේන්තු වියදම පවුම් 15,400ක් විය. පස්වැනි හරස්වීදිය පළල් කිරීම පිණිස අඩි 12ක් හැර, පිටකොටුවේ තෝරාගත් ස්ථානයෙහි මේ ගොඩනැඟිලි දෙකම ඉදිකිරීමට සැලැස්ම සකස් කරන ලදී. එහෙත් බර්ටන් මහතාගේ සැලසුම් පමණට වඩා වියදම් අධික බව රජයේ අදහස විය. පසු කලකදී කොළඹ කෞතුකාගාරය ඉදිකළ රජයේ ගෘහ නිර්මාණ ශිල්පි ජේ. ජී. ස්මිදර් මහතා විසින් පවුම් 7000ක් වැය වන අලුත් සැලැස්මක් පිළියෙල කළ හෙයින් රජය එය පිළිගත්තේය. එම නව ගොඩනැඟිල්ල 1873දී ආණ්ඩුකාර තැන විසින් විවෘත කෙරිණි.
මින් අවුරුදු 34කට පසුව නාගරික සභාවේ සභාපති පදවිය දැරූ ඊ. ඇම්. ද කෝසි ෂෝට් මහතා 1907 සිය වාර්තාවෙහි නව නගර ශාලාවක ඇති අවශ්‍යතාව පෙන්වා දුන්නේය. එවකට ඉමහත් ලෙස කාර්යබහුල ස්ථානයක්ව තිබූ නාගරික කාර්යාලය නගරයේ ප්‍රමාණයට තරම් නොවූ කුඩා ස්ථානයක් විය. නව නගර ශාලාවක් ඉදිකිරීම අත්‍යවශ්‍ය බව ඔහු කියා සිටියේය. පිටකොටුවේ භූමි භාගයෙහි විශාල ගොඩනැඟිල්ලක් ඉදිකිරීම නොකළ හැක්කක් වූ අතර 1907 දෙසැම්බර් 13 වැනි දින නාගරික සභා රැස්වීමේදී අලුත් තැනක අලුත් නගර ශාලාවක් ඉදිකිරීම පිණිස යෝජනාවක් සම්මත කරගනු ලැබීය.


“කොළඹ නාගරික සභාවේ කටයුතු” ගැන පරීක්ෂා කිරීම පිණිස 1914දී ආණ්ඩුකාර තැන විසින් පත් කරන ලද කොමිසම, ප්‍රශ්නය ගැන මුළුමනින්ම සලකා බලා නිර්දේශයක් කළ නමුදු වාසනාවකට මෙන් ඒවා ක්‍රියාත්මක නොකරන ලදී. යම් හෙයකින් ඒවා ක්‍රියාත්මක කළේ නම් අද නගර ශාලාව ඇත්තේ ප්‍රයිස් උද්‍යානයේ විය හැකිය. එවකට සිටි නාගරික ඉංජිනේරු ආර්. ස්කෙල්ටන් මහතා කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් නව නගර ශාලාවක් ඉදිකිරීමේ ඇති අවශ්‍යතාව පැහැදිලි කළේය. පිටකොටුවේ නගර ශාලාවේ සභාපතිවරයා, ලේකම් තැන, නාගරික සෞඛ්‍ය ඉංජිනේරු තැන සහ ගණකාධිකාරිවරයා ද වූහ. තක්සේරුකාර තැන එම වීදියේම කුඩා වෙළෙඳසලක සිය කාර්යාලය පවත්වාගෙන ගියේය. කර්මාන්ත ඉංජිනේරු තැනගේ කාර්යාලය මාලිගාකන්ද මුදුනේ පිහිටුවා තිබූ අතර කර්මාන්ත ඉංජිනේරු තැන තවත් තැනක ද වෛi නිලධාරියා වෙනත් ස්ථානයක ද වූහ. වැඩ ප්‍රමාණය එක හා සමාන වූයේ නමුදු ගණන් තැබීමේ ක්‍රම තුනක් අනුගමනය කෙරිණි. හෙතෙම තවදුරටත් කරුණු පැහැදිලි කරමින් පුරහලක් ඉදිකිරීම පිණිස පිටකොටුවේ භූමි භාගය අතිශයින්ම නුසුදුසු බවත් එය වටිනා ඉඩමක් වන බැවින් විකුණුවහොත් අලුත් නගර ශාලාවක් සෑදීමේ වියදම පමණක් නොව, ඉතිරියක් පවා ලබා ගැනීමට හැකි බවත් පෙන්වා දුන්නේය.ඊට අවුරුදු හයකට හෝ හතකට ඉහතදී නව නගර ශාලාවක් ඉදිකිරීම පිණිස රාජකීය විද්‍යාලය (දැන් පොලිස් බැරැක්කය) අසල සන්තබස්තියම් කන්ද සුදුසු යැයි නාගරික සභාව තීරණය කළ බව ඔහු කීවේය. ගෘහ නිර්මාණ ශිල්පය අතින් වටිනාකම ඇති ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට අපේක්ෂා කරන්නේ නම් ඊට සුපරික්ෂාකාරී ස්ථානයක් සොයාගත යුතුව ඇත. නගර ශාලාව වූ කලී නගරයක තිබිය යුතු ප්‍රධාන ගොඩනැඟිල්ලකි. මුළු යෝජනා ක්‍රමය සඳහා රුපියල් දශ ලක්ෂයක් පමණ වියදම් වේ යැයි ස්කෙල්ටන් මහතා පැවසීය.


ඉහත සඳහන් කළ කොමිෂන් සභාවේ යටත් විජිත ලේකම් ආර්. ඊ. ස්ටබ්ස්, සභාපතිත්වය දැරූ මෙම කොමිසමට බස්නාහිර පළාතේ රජයේ දිසාපති ජේ. ජී. ප්‍රෙසර්, ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ උඩරට නියෝජිත ටී. බී. ඇල්. මූනමලේ, රාජනීතිඥ බී. ඩබ්ලිව්. බාවා, විලියම් මොයර් සහ නැෂනල් බැංකුවේ කළමනාකාර ඊ. එච්. ලොරන්ස් යන මහත්වරු ඇතුළත් වූහ. නිර්දේශයන් වූ කලී අධෛර්යට පත් කරනසුලු ඒවා විය. ඔවුන්ගේ නිර්දේශවලින් කොටසක් මෙසේය. ඉහතින් සඳහන් කළ හේතුන් නිසා අත්‍යවශ්‍ය යැයි අප විසින් සලකන ලද යෝජිත නව නගර ශාලාව ඉදිකිරීමේ කාර්යය වෙනුවෙන් වියදම් කිරීමට යන විශාල මුදල (රු. 10,000,00) මහත්සේ අඩු කිරීමට අපි යෝජනා කරමු. මේ ගොඩනැඟිල්ල සෑදවීම පිණිස අලුත් ඉඩමක් මිලයට ගැනීමට වඩා එය ප්‍රයිස් උද්‍යානයේ සෑදවීම වියදම් අඩු කරගැනීමේ ක්‍රමයක් බව අපගේ මතයයි. මෙම උද්‍යානය පිහිටි ඉඩම 1895 දී රජය විසින් නාගරික සභාවට පවරා දෙන ලද්දේය. එහි ගොඩනැඟිලි ඉදිකිරීම රජයේ අවසරයක් නැතිව නොකළ යුතු බවට කොන්දේසියක් තිබුණේ වී නමුදු, ගොඩනැඟිල්ල ඉදිකිරීමට අවශ්‍ය බිම් ප්‍රමාණය සඳහා එම අවසරය රජය විසින් දිය යුතු බව අපි අදහස් කරමු. කොළඹ පිහිටි ක්‍රීඩා භූමියක ගොඩනැඟිලි ඉදිකිරීම ගැන විරුද්ධත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකි නමුදු, නාගරික සභාවට මධ්‍ය ගොඩනැඟිල්ලක් හැකි තරම් ඉක්මනින් ලබාදීමේ අවශ්‍යතාව ඊට වඩා ලොකු බව අපි පිළිගනිමු. මේ යෝජනාව පිළිගන්නේ නම්, දැනට ඇති නාගරික ගොඩනැඟිල්ල හෝ ඉන් කොටසක් විකිණීමෙන් ලැබෙන ආදායම් මේ කාර්යය සඳහා යෙදවිය හැකි ය.
මේ ප්‍රශ්නය ටික කලක් ගත වනතුරු පළමුවැනි ලෝක යුද්ධය සමයේදී අමතක කර දමා තිබූ අතර යුද බිය පහව ගිය විගසම ඒ ගැන සැලකිල්ල යොමු විය.


1921 දී රජයේ ගෘහනිර්මාණ ශිල්පියා වූ මහාචාර්ය පැට්රික් ගෙඩීස් මහතා ඊට වඩා සුදුසු ඉඩකඩ ඇති භූමි භාගයක් යෝජනා කර සිටියේය. ඔහු තම මූලික වාර්තාවේ මෙසේ සඳහන් කළේය. රජයේ කර්මාන්ත ශාලාව දැනට ඇති ස්ථානයෙන් අස් කිරීමට යෝජනා කර ඇති බැවින් එහි නාගරික සභාවට අවශ්‍යව ඇති විශාල, මධ්‍ය, තේජාන්විත ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට මුළු නගරයෙන්ම ඉතාම සුදුසු ස්ථානය ලෙස සැලකිය හැකි බව මම කල්පනා කරමි. “එම ගොඩනැඟිල්ල ඉදිකිරීමෙන් පසුව ද සෑහෙන ඉඩ ප්‍රමාණයක් එහි ඉතිරිව තිබිය හැකි හෙයින් මේ සමග ඉදිරිපත් කරන සැලැස්මේ ප්‍රකාර, සියලුම වර්ගයේ විශාල රැස්වීම් පැවැත්වීම සඳහාය” යන පැරණි මතයට එකඟව පුරහලක් ද ගොඩනැංවීමට මා විසින් මෙයින් යෝජනා කර තිබේ. දෙතුන් දහසක ජනකායක් රැස්වී සිටිය හැකි තරම් විශාලත්වයකින් යුතු වූ මෙම ශාලාව සඳහා සංගීතමය වැඩසටහන් ආදියේදී පාවිච්චියට ගැනීමට හැකිවන අයුරු සැදූ විශාල වේදිකාවක් ද ඇතුළත් කර ඇත්තේය.
විශාල මහජන පුස්තකාලයක් ද කොළඹට අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයකි. ඒ සඳහා ද සුදුසුම ස්ථානය මෙයයි. නාගරික මන්ත්‍රීවරුන්ට සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට පමණක් නොව, පොදු ජනතාවට ද එකසේ ප්‍රයෝජන ලැබිය හැකි මෙවැනි පුස්තකාලයක් පිහිටුවීමෙන් එය ජන සාහිත්‍යයේ කේන්ද්‍රස්ථානය වීමට බැරි නැත. අවසාන වශයෙන්, පළමුවන පන්තියේ නාගරි රඟහලක් ද යථා කාලයේදී එළිදකිනු ඇත. එබැවින් ඒ සඳහා ද සැලසුම් සකසා ඇත. අවසාන වශයෙන් තෝරා ගන්නා ලද ස්ථානය, එනම් දැන් නගර ශාලාව පිහිටි ස්ථානය, භූ විද්‍යාව අනුව නගරයේ මධ්‍ය වුවද ජනාකීර්ණ පෙදෙසේ මධ්‍ය නොවේ. වික්ටෝරියා උද්‍යානය (දැන් විහාරමහා දේවි උද්‍යානය) සහ කුරුඳුවත්ත වාසස්ථාන ප්‍රදේශයට ආසන්නව මෙය පිහිටියේය. නගර ශාලාව සඳහා සැලැස්ම පිළියෙල කර ඉදිරිපත් කිරීම පිණිස තරගයක් පවත්වන ලද අතර පළමුවැනි, දෙවැනි සහ තුන් වැනි තැන ගත් සැලැස්මයන් ඉදිරිපත් කර තිබුණේ මොවුන් විසිනි.
සිංගප්පූරුවේ රැල්ප් බූටි සහ සමාගමේ එස්. ජේ. එඩ්වඩ් මහතා, අලහබාද්හි ඩබ්ලිව්. එච්. බෝර්න් මහතා, අලහාබද්හි ඇෆ්. ලිෂ්මන් මහතා, ඇෆ්. ආර්. අයි. බී. ඒ. සහ රෑම් රප් ශර්මා මහතා, එස්. ජේ. එඩ්වඩ් මහතාගේ ජයග්‍රාහක සැලැස්ම වත්මන් නගර ශාලාව ගැන ලක් රජයේ ගෘහ නිර්මාණ ශිල්පියා වූ ඒ. වූඩ්සන් මහතා මෙසේ ලියයි.


“ඉඩම පුරා ගොඩනැඟිල්ල පිහිටුවා ඇති ආකාරය ප්‍රශංසනීයය. පිටස්තර ගොඩනැඟිලි හුදෙකලා බවින් හෙබි වුවද ලෙහෙසියෙන් ඇතුළුවිය හැකි සේ සකස්කර තිබේ. ප්‍රධාන ගොඩනැඟිල්ල තේජාන්විත ස්වරූපයක් ගන්නා සේ පිහිටුවා ඇති අතර සෑම දිසාවකටම එය මනා ලෙස දිස්වනු ඇත. මේ හා සම්බන්ධිත පාරවල් හොඳින් සකසා ඇත. බිම් මහලෙහි ඇති දිග වේදිකාවලට හොඳින් ආලෝකය ලැබෙන සේ සකස් කර තිබේ. දෙපාර්තමේන්තු සහ කාමර බෙදා ඇති සැටි ඉතා මැනවි. ඉතා පහසුවෙන් ඇතුළුවීමට හැකි ලෙසත් මහජනයාට හා දෙපාර්තමේන්තු අතර ලියකියවිලි හුවමාරු කරගැනීමට හැකිවන අයුරුත් සකස් කර තිබීම විශේෂ ලක්ෂණයකි. උඩ තට්ටුවේ ද කාර්යාලය සකස් කර ඇති අන්දම සැබැවින්ම ප්‍රශංසනීයය. අවශ්‍ය යැයි සඳහන් කළ ඉඩකඩ සවිස්තරාත්මකව ගොඩනැඟිල්ලක් තුළින් සපයා දී ඇති මුත්, එහි අලංකාරයට හානියක් කර නැත. සභා රැස්වීම් ශාලාව වූ කලී අතිශය චමත්කාරජනක කුටියක් ලෙස සකසා ඇති අතර එය වඩා උඩින් සෑදීමට සටහන් කර ඇති ගැලරියෙහි විශාල පිරිසකට ඉඩකඩ සපයා දෙයි. මේ කරුණින් මෙම සැලැස්මට ලකුණු ගණනාවක්ම හිමි වෙයි. මධ්‍යයේ මුදුනක විශාල අර්ධගෝලාකාර කොතකින් සමන්විත වූ මෙම ගොඩනැඟිල්ල අතිශයින්ම සිත් කලු දර්ශනයක් වෙයි. විස්තර හා සැලැස්ම මැනවින් සකස් කර ඇති අතර ඉතාම හොඳින් කැපීපෙනෙන සැලැස්ම වීමට එයද හේතුවකි.


ටී. රීඩ් මහතා විසින් මුල්ගල තබන ලද මෙම ගොඩනැඟිල්ල ඉදිකිරීමේ කාර්යය ඒ. ඒ. ගැමන් සහ සමාගමට පවරනු ලැබුවේ 1924 වර්ෂයේදීය. 1927 වර්ෂයේදී මෙහි ඉදිකිරීම් අවසන් වූ අතර 1928 මැයි මාසයේදී ගොඩනැඟිල්ලේ පදිංචියට පැමිණිනි.එවකට සිටි නගරාධිපතිවරයා වූ එච්. ඊ. නිව්න්හැම් මහතා විසින් මේ සම්බන්ධයෙන් දරන ලද උත්සාහය ගොඩනැඟිල්ල ඉක්මනින් සහ මනා ලෙස අවසන් කිරීමට මහත් රුකුලක් විය. මධ්‍යම රජයෙන් කිසිදු ණය මුදලක් නොලබා සභාවේ ආදායමින්ම වියදමින්ම වැඩි කොටසක් දරන ලදී. වැඩ අවසන් කළ පසු මුළු පෙරදිගම ඇති එම වර්ගයේ ඉතාම හොඳ ගොඩනැඟිල්ල ලෙස සලකනු ලැබූ නගර ශාලාව නාගරික පරිපාලනයෙහි ද නව මුහුණුවරක් ඇති කිරීමට සමත් විය. කොළඹ නගරයේ අතිශයින්ම කාර්යබහුල පිටකොටුව පෙදෙසින් වෙන් වී, වික්ටෝරියා උද්‍යානයේ පිහිටි නාගරික කාර්යාලයන්, පළමුවෙන් දක්නා ලද්දේ සාමාන්‍ය බදු ගෙවන්නාට ළඟාවිය නොහැකි හුදෙකලා ස්ථානයක පිහිටි ගොඩනැඟිල්ලක් සේ ය. වැඩි වශයෙන්ම බස් සේවාවන්ගෙන් හා වෙනත් පොදු ප්‍රවාහන ක්‍රමයන්ගෙන් එකල මේ ස්ථානය කරා පැමිණීම දුෂ්කර වුවද මෙකල එම තත්ත්වය මුළුමනින්ම වෙනස්ව තිබීමෙන්ම මෙම ස්ථානයේ යෝග්‍යතාව කෙතෙක් ද යන්න පැහැදිලිව පෙනේ.

දැනට ජීවතුන් අතර නැති ඉසුර ලකිත නිශ්ශංක ලේඛකයා කලකට පෙර ලියූවකි.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00