ceylonlknews.com

Ceylon Lk News

Home විශේෂාංග ඔබ විෂාදයෙන් පෙළෙන බව හඟවන ලක්ෂණ 8ක්‌ – මේ ලක්ෂණ ඔබටත් තියෙනවද බලන්න

ඔබ විෂාදයෙන් පෙළෙන බව හඟවන ලක්ෂණ 8ක්‌ – මේ ලක්ෂණ ඔබටත් තියෙනවද බලන්න

by CeylonLk
0 comments

සටහන.. ජයසිංහ වීරසේකර

විශාදය කියන්නේ අද වන විට බොහෝදෙනා තුල දක්නට ලැබෙන තත්වයක්. විශාදය “21වන සියවසේ වසංගතය” ලෙස ඇතැම්විට හඳුන්වන්නේත් එය එතරම්ම සුලබ තත්ත්වයක් නිසයි. මෙය රෝගයක් ලෙස බොහෝ විට හැඳින්වෙන්නේ නැතිවුනත්, මේ වන විට නම් විශේෂඥයන් පවසන්නේ එය අනිත් ඕනෑම රෝගයක් මෙන් හඳුනාගෙන ප්‍රතිකාර කළ යුතු තත්ත්වයක් බවයි. මොකද මානසික සෞඛ්‍යයත් කායික සෞඛ්‍යය තරම්ම වැදගත් වන නිසා. මෙහි පළමු පියවර තමයි ඔබගේ තත්ත්වය හරියටම විශාදයද නැද්ද කියා දැනගැනීම. මේ සඳහා විශාදය ඇති පුද්ගලයන් තුළ බහුලව දක්නට ලැබෙන හැසිරීම් සහ පුරුදු කිහිපයක් අපි අද ඔබට ඉදිරිපත් කරනවා. ඔබත් කියවා බලන්න.මේවායෙන් බොහෝමයක් හෝ සියල්ලම ඔබ තුළ තිබෙනවා නම් ඔබටත් වෛද්‍ය උපදෙස් උවමනා වේවි.

01.වෙහෙස
ඔබ දෛනිකව යෙදෙන කටයුතු වලට අමතරව කිසිම දෙයක් නොකරත් ඔබට වෙහෙසක් දැනෙනවා නම්, උදෑසන අවදි වූ වෙලේ සිට කිසිදු ප්‍රබෝධමත් ගතියක් උද්යෝගයක් නොමැතිව අලස කමින් ගෙවෙනවා නම් එය තමයි විශාදයේ පළමු ලක්ෂණය.

02.ජීවත් වීමෙන් පලක් නැති බව හැඟී යාම
ඔබට තමාව නොවටිනා පුද්ගලයෙකු ලෙසත් තමාගෙන් කිසිදු අයකුට ප්‍රයෝජනයක් නැති බවත් හිතෙනවා නම් එය එතරම් හොඳ දෙයක් නොවේ. ජීවත් වීමෙන් පලක් නැති බව හැඟෙන නිසා මරණයට ඇති බියක් නැතිවී, දිවි නසා ගැනීමේ චේතනාවන් පවා ඇති වෙන්න පුළුවන්.

03.අවධානයේ සහ මතකයෙහි දුර්වලතා
ඇතැම් විට ඔබට සුළු සුළු අතපසුවීම් වෙනදාට වඩා වැඩියෙන් සිදුවෙනවා නම්, නිතර අමතක වෙනවා නම්, ලේසියෙන් කෙනෙකුගේ නමක්/දුරකථන අංකයක් මතක් කර ගැනීමට නොහැකි නම්, එය විශාදයේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. යමක් අමතක වීම සාමාන්‍ය දෙයක් වුණත් නිතරම එසේ සිදුවීමත්, මේ දැන් කියූ දෙයක් තව මොහොතකින් අමතක වීමත් සාමාන්‍ය දෙයක් ලෙස සලකන්න බැහැ. ඒ වගේම ඔබගේ අවධානය රඳවා තබාගැනීමේ දුර්වලතා තිබෙන නිසා කෙනෙකු ඔබට කතා කරන විට අවධානයෙන් අහගෙන සිටීම සහ එක දිගට පොතක් කියවීම වැනි දේවල් කිරීම ඔබට අපහසු වෙන්න පුළුවන්.

04.නින්ද සම්බන්ද ගැටළු
නින්ද සම්බන්ධ ගැටලු කියන එකෙන් අපි අදහස් කරන්නේ, ඕනෑවට වඩා නිදා ගැනීම හෝ නින්ද නොයාම(Insomnia) කියන දෙකෙන් ඕනෑම එකක්. ඇතැම් විට ඔබ හොඳ නින්දක් රාත්‍රිය පුරා පැය ගානක් ලබා ගැනීමෙන් පසුත්, තව තවත් නිදාගැනීමට සිතෙන්න පුළුවන්. දවසේ ඕනෑම වේලාවක එකදිගට නිදා ගැනීමට ඔබට හැකි වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබට රාත්‍රියේදී නින්ද නොයා පැය ගණන් එක දිගට අවදියෙන් සිටීමට සිදු වෙන්නත් පුළුවන්. මේ අන්ත දෙකම විෂාදයේ ලක්ෂණයක් විය හැකියි.

05.ආහාර ගැනීම සම්බන්ද ගැටලු
ආහාර ගැනීම සම්බන්ධ ගැටළු වලදීත්, නින්ද සම්බන්ධයෙන් වගේම අන්තයන් දෙකක් තිබෙනවා. ඇතැම් විට ඔබට කොපමණ කෑවත් බඩගින්න දැනෙන නිසා ඕනෑ තරම් කන්න පුලුවන් වගේ දැනේවි. එහෙමත් නැත්නම් ඔබට කිසිසේත්ම කුසගින්න නොදැනේවි. මේ හේතුව නිසා ඇතැම් විට ඔබට කෙටි කාලයක් ඇතුළතදී සැලකිය යුතු ලෙස බර අඩුවීමක් හෝ වැඩි වීමක් නිරීක්ෂණය කරන්න පුළුවන්.

06.කිසිම දෙයකින් ඔබට සතුටක් නොදැනේවි
ඔබ ආදරය කරන පුද්ගලයන්, නිතර යෙදෙන ක්‍රීඩා, විනෝදාංශ හෝ විනෝදාත්මක කටයුතු ආදී කිසිදු දෙයකින් ඔබ‍ට තෘප්තියක් නොදැනේවි. ඔබ ආදරය කරන පුද්ගලයන් සහ මිතුරන් හමු වී යාමට ඔබගේ කැමැත්ත අඩු වී යාමත්, කිසිදු දෙයකින් සතුටක් නොදැනෙන ගතියත්, අලුතින් කිසිම දෙයක් කිරීමට නොහැකි තරම් අලස බවක් දැනීමත් විශාදයේ ලක්ෂණයක් විය හැකියි.

07.නිතරම කළකිරීමෙන් සිටීම
ඔබ‍ට නිතරම දුකක් කලකිරීමක් හෝ කෝපයක් කලබලකාරී ගතියක් දැනෙන නමුත් එයට කිසිදු සාධාරණ හේතුවක් ඔබටම සොයාගත නොහැකි වෙන්න පුළුවන්. කෙටියෙන් කියනවා නම් හේතුවක් නොමැතිව ඔබගේ සිත සෘණාත්මක සිතුවිලි වලින් පිරි පවතින්න පුළුවන්.

08.සෞඛ්‍යය පිරිහී යාම
හදිස්සියෙන්ම ඔබගේ සන්ධි වල සහ කොන්දේ වේදනාවක් ඇති වෙනවා නම් හෝ ආහාර දිරවීමේ ගැටලු තිබෙනවා නම් සහ ඒවාට සාධාරණ හේතුවක් නොමැති නම්, උදාහරණයක් ලෙස, ඔබ මහන්සි වී ව්‍යායාම කිරීම හෝ මේදය අධික ආහාරයක් ගැනීම වැනි හේතුවක් නොමැතිව එවැනි තත්ත්වයක් තිබෙනවා නම්, එය විශාදයේ ලක්ෂණයක් විය හැකියි. එසේම සාමාන්‍ය සුළු වෛද්‍ය ප්‍රතිකාර, පෙති හෝ කරල් මගින් ඒවා මගහැරී යන්නෙත් නැහැ.

අපි ඉහත දැක් වූ ලක්ෂණ 8 ම ඕනෑම කෙනෙකුට සාමාන්‍යයෙන් ඇතිවන ලක්ෂණ කියලා ඔබට වැටහේවි. නමුත් එය විශාද තත්වයේ ලක්ෂණ වීමට නම් මේ ලක්ෂණ වලින් බොහොමයක් දිගින් දිගටම පැවතිය යුතුයි. එසේ නොමැතිව කඩින් කඩ සාමාන්‍ය ආකාරයෙන්, සාධාරණ හේතු සහිතව සිදුවීම විශාදයේ ලක්ෂණයක් නොවේ.

විශාදය වළක්වාගන්නේ කොහොමද?
විශාදය සඳහා ප්‍රතිකාර ලෙස තෙරපි, සත්ව තෙරපි, වැඩිපුර කායික ක්‍රියාකාරකම් වල යෙදවීම, විද්යුත්- හෝ චුම්බක උද්දීපන ආදිය සිදු කෙරෙනවා. වර්තමානයේ නම් විශාදය සඳහා ඉතාමත් ප්‍රතිඵලදායක ක්‍රමයක් ලෙස කණ්ඩායම් තෙරපී සිදුකෙරෙනවා. කෙසේ නමුත්, රෝගයක් වුණත් නැතත් විශාද තත්වයෙන් කිසිවකුට හානියක් වීම වලක්වා ගැනීමට ඔබත් ඔබගේ පවුලේ අය හා ආදරය කරන අයගෙ හැසිරීම් හා වෙනස්කම් ගැන අවධානයෙන් සිටින්න.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00