ceylonlknews.com

Ceylon Lk News

Home විශේෂාංග ආදර කතා ගවේෂණයට අලුත් දොරක් විවර කරන ක්ලැරන්ස්

ආදර කතා ගවේෂණයට අලුත් දොරක් විවර කරන ක්ලැරන්ස්

by CeylonLk
0 comments

 පද්මකුමාර පී. මෙත්තසේන

හෙළ සිනමාවේ ඉතාම කලාතුරකින් දකින්නට ලැබෙන සංගීතමය චිත්‍රපටයක් තිරයට පැමිණ තිබේ. ක්ලැරන්ස් Rhythm of the Guitar (රිදම් ඔෆ් ද ගිටාර්) එහි නමයි. මෙය හැත්තෑව අසූව දශකයේ ජන ආකර්ෂණය ලද සංගීතවේදී ක්ලැරන්ස් විජේවර්ධනගේ ගීත එකතුවකින් නිර්මිත ආදර කතාවකි. එය අධ්‍යක්ෂණය කොට ඇත්තේ සංගීතවේදියෙකු චිත්‍ර ශිල්පියකු වන තේජා ඉද්දමල්ගොඩයි. ශ්‍රී ලංකාව පුරා අලුතින් බිහිවී ඇති සිනමා සංකීර්ණ සඳහාම නිපදවූ මෙම චිත්‍රපටය රූප රචනය, නාද සංකලනය, වර්ණ ගැන්වීම් සියල්ල ඉහළ තාක්ෂණ අරමුණු සපයා තිබීම ඉතා සතුටුදායක තත්ත්වයකි.

හැටේ දශකයේ ක්ලැරන්ස්ගේ සංගීත ආගමනයත් හැත්තෑව දශකය වන විට ඔහු ලද ජනප්‍රසාදයත් ඒ අතරතුරේ ඔහු මැදිවූ තුන්කොන් ආදර කතාවක් මෙම චිත්‍රපටයට පාදක වී ඇත. එහි ක්ලැරන්ස් පෙම්බඳින්නේ රම්‍යාට හා ශීලාටය.

හැත්තෑව දශකයේ ස්මාර්ට් දුරකතන, අන්තර්ජාලය හා අද විඳින ෆේස්බුක්, ඊමේල්, යූ ටියුබ්, ඉන්ස්ටර්ග්‍රෑම් අහිමි අතීතයක ආදරය කෙතරම් අසීරුදැයි මෙම චිත්‍රපටය නරඹන යොවුන් පරපුර නිසැකවම අත්විඳිනවා ඇත. එමෙන්ම එම තරුණ තරුණියන්ගේ මවුපියන්ගේ ආදර කතා විමසීමට ඔවුන් උත්සුක වන්නේ තාක්ෂණික මෙවලම් දුරස් වූ ශ්‍රී ලංකාවේ එදා ආදර කතා ගවේෂණයට අලුත් දොරක් විවර කරමිනි.

මෙය සැබැවින්ම යොවුන් පෙම් කතාවකි. එය ගැටුම් කැලඹීම් සමඟ ගමන් කරයි. එය මැවීමට අධ්‍යක්ෂ තේජා තෝරාගෙන ඇති නළුනිළි පිරිසගේ රංග ප්‍රභාව සිත්ගන්නා සුලුය. ප්‍රේක්ෂක සිත් වසඟයට ගන්නා ක්ලැරන්ස්ගේ චරිතය මවන දමිත් විජේතුංග චරිතය අවබෝධ කරගත් වගකීමක් සහිත රංගනයක් ඉදිරිපත් කරන්නේය. ක්ලැරන්ස් පෙම්දමක පැටලෙන ශීලා ලෙස නිහාරි පෙරේරා චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය මවයි. නිහාරිගේ ප්‍රේමනීය රංගනය හද නළවන සුලුය. අනෙක් චරිතය වන රම්‍යා ලෙස රඟන ඉෂංකා ජහන්වීගේ කොස්තා මීට පෙර තේජගේ ආශාවරී චිත්‍රපටයේ රඟපා තිබේ. දමිත් විජේතුංගට හිත යටින් පෙම් බඳින යුවතියක් ද නිහාරි පෙරේරාගේ නෙත්වල අසිරිය විඳිමින් තොඳොල් බසින් ඇය අමතනු ඇසීමට ප්‍රිය ආදරණීය හදවත්ද ඉෂංග ජහන්වීගේ දඟකාරකමට ඇලුම් කරන තරුණයන් ද සිනමාහල් කරා රොද බඳින කාලයක් ක්ලැරන්ස් චිත්‍රපටය තුළින් උදාවීම නියතයක් බවට පත්වීම නොවැළැක්විය හැකි දෙයකි.

වත්මන් ප්‍රේක්ෂක හදවත් මැනවින් වටහා ගත් ක්ලැරන්ස් රිදම් ඔෆ් ද ගිටාර් රංගනයෙන් හැඩ කරන තවත් අය සිටිති. ඉන් ශීලාගේ පියා වන මිස්ටර් වොලස් ලෙස රඟන ශ්‍රීමාල් වෙඩිසිංහ එදා සම්ප්‍රදායික පියාගේ චරිතය මැනවින් මවයි. අංගො නැන්දාගේ චරිතය මවන ෆර්නි රෝෂිනී චරිතය අවබෝධකර නොගෙන වේදිකාවේ මවන චරිතයක් බවට පත්වී තිබීම චිත්‍රපටයට නොගැළපෙන්නකි. අත්දැකීම් බහුල ප්‍රවීණ නිළියක මෙම චරිතයට යෙදුවා නම් චිත්‍රපටයට ලැබෙන ආලෝකය තවත් වැඩි වනු නොඅනුමානය.

සාරංග දිසාසේකර මෙහි ඇනස්ලි මාලේවන ගේ චරිතය රංගනය සතුටුදායකය. එමෙන්ම ඉන්ද්‍රානි ප්‍රමුඛ ත්‍රී සිස්ටර් ලෙස දිනක්ෂි, ශේෂාද්‍රි හා ශනුද්‍රිගේ මැවීමද අලංකෘතය ඔවුන් තිදෙනා එකට එක්ව ගයන ගීත රංගන සදා අනුස්මරණීයයි. ක්ලැරන්ස් විජේවර්ධන බටහිර සංගීත ආරෙන් රටක් වසඟයට ගත් සංගීතවේදියෙකි. ඔහුගේ සංගීතයට ඇලුම් කරන ප්‍රේක්ෂක පිරිසක් එකල පමණක් නොව මෙකලද සිටිති. සුරේෂ් මාලියද්ද විසින් නැවත ප්‍රතිනිර්මාණය කරන ලද ක්ලැරන්ස්ගේ නාද රටා අලුත් හඬ තුළින් ගෙන එන ආශ්වාදය කර්ණ රසායනය, නවීන තාක්ෂණයෙන් යුත් සිනාමහලකදී ප්‍රියන්ත කළුආරච්චිගේ මෙම මධුර සංගීත ඇතිරීම ඔබ සැබැවින්ම සිහින ලොවක් කරා කැඳවාගෙන යනු නිසැකය.

මෙහි අනෙක් ප්‍රධාන අලංකාරය වන්නේ රුවන් කොස්තාගේ කැමරා අධ්‍යක්ෂණයයි. උපරිම ප්‍රේක්ෂක නෙත් පිනවීමේ අරමුණින්ම රුවන් කැමරාව මෙහෙයවා ඇති අන්දම ප්‍රශංසනීයයි. ලසන්ත උඩුකුඹුරගේ ඇඳුම් නිර්මාණයද ඒ හා සම ආකර්ෂණයක් ලබයි.

පැතිලි ආලෝකය භාවිතයෙන් චරිතවල පෙනුම සම බිමක රඳවා ගැනීමට ඇවැසි අසීරු වෙස් ගැන්වීම ඉන්දික උදාර ලංකා නෙත්වලට බරක් නොවන ලෙස යෙදීම විශිෂ්ටය. ඊටත් අමතරව යශෝධ ගනුපමගේ වර්ණ සංකලනය හා සංස්කරණයද චිත්‍රපටයට ආලෝකයක් ලබාදේ. හැත්තෑව දශකයේ වාහන භාවිතය හා පරිසර මැවීම තුළින් කලා අධ්‍යක්ෂ මංජුල අයගම චිත්‍රපටයට ලබා දී ඇති දායකත්වය අසිරිමත්ය.

ජනතාවට දැනෙන චිත්‍රපටයක් කිරීම ඉතා අසීරුය. චිත්‍රපටය ප්‍රදර්ශනය වන මොහොතේ චිත්‍රපට අධ්‍යක්ෂ තේජ ඉද්දමල්ගොඩ ජීවතුන් අතර නැත. එවැනි පසුබිමක නොපසුබස්නා උත්සාහයෙන් මෙම චිත්‍රපටයට මූල්‍යමය දායකත්වයක් සැපයූ ව්‍යාපාරික කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විජයසේනයන්ගේ කැප කිරීමද ඇගයිය යුතුමය.

‘ක්ලැරන්ස් රිදම් ඔෆ් ද ගිටාර්‘ සිංහල චිත්‍රපටය සිංහල සිනමා තිරයට වට මල්වැස්සකි. ක්ලැරන්ස්, ඉන්ද්‍රානි, ඇනස්ලි චරිත අතර තනිවී එදා රසවිඳි ගීත නව තාක්ෂණයෙන් යුතුව විඳීමට මෙහි සියලු අවස්ථා ලබාදීම සොම්නස් දනවන කරුණකි.

පවුලේ සියලු දෙනාට එකට සිට නැරඹිය හැකි ශිෂ්ටසම්පන්න සංවාද හා සබැඳි ක්ලැරන්ස් රිදම් ඔෆ් ද ගිටාර් තාක්ෂණයෙන් පරිපූර්ණ සිනමාහලකට ගෙවන මුදලට උපරිම වින්දනය ලබාදේ.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00