ඔයාලා දන්නවා ඇති ලංකාවේ අලි ගාල් කිරීම ජයටම සිද්දවෙච්ච කාලයක් තිබුණා . ඔය පනාමුරේ අන්තිම අලි ගාල නැති උනාට පස්සේ අලි ගාල් කිරීම නැතිවෙලා ගියා .
ඉස්සර ඔහොම ගාල් කරලා අලි අල්ලනකොට අලි අල්ලන අය , අලින්ගේ තියෙන විශේෂ ලක්ෂණ බලලා හොඳ ලක්ෂණ තියෙන අලි ඇත්තු තමයි අල්ලගන්නේ .
එහෙම අල්ලගන්න අලි ඇත්තු මිලදීගන්න අය වාසනාවන්ත දියුණුවෙන් දියුණුවට පත්වෙන අය බවට පත්වෙනවා . ඒත් සමහර ලක්ෂණ තියෙන අලි ඇත්තු මිලදීගත්ත අය නැත්තටම නැතිවෙලා යනවා .
අලි අත්තුන්ගේ කුල බෙදීම ඇති උනේ මෙන්න මේ දේ නිසා . අලි ඇතුන්ගේ තියෙන මංගල ලක්ෂණ වගේම අභව්‍ය ලක්ෂණ මේ වැඩේට යොදාගන්නවා .
අලියෙක් ඇතෙක් දැක්ක ගමන් අපිට ඌ ගැන ප්‍රිය මනාප හැගීමක් ඇතිවෙන්නේ හරි , ඒ ඇතාගේ හෝ අලියාගේ තේජස් ස්වරූපයක් පෙන්නුම් කරන්නේ මේ ලක්ෂණ නිසා .
සමහර අලි ඇත්තු දැක්කම ඒ වගේ හැගීමක් ඇති නොවෙන්නේ ඒ අලියට හෝ ඇතාට ඒ මංගල ලක්ෂණ නැති නිසා .
මෙන්න මෙහෙමයි අලි ඇත්තු කුල වලට බෙදන්නේ . තියෙනවා ඔක්කොම අලි කුල 10ක්.
මේ අය මේ කුල වලට බෙදලා වෙන් කරලා තියෙන්නේ මෙයාලට තියෙන වෙනස් ලක්ෂණ නිසා . තැපෑලෙන් පීනන්න උගන්නනවා වගේ ඒ ලක්ෂණ ටිකත් දාන්නම් .
හැබැයි මෙහෙම කියවලා ඒ ගැන අවබෝධයක් ලබාගන්න අමාරුයි කියලා මට හිතෙනවා . මොකද අලි ඇත්තුන්ගේ පොඩි පොඩි වෙනස්කම් දකින්න පුළුවන් කමක් නැති අයට ඔක්කොම අලි ඇත්තු එක වගේ පේන්නත් ඉඩ තියෙන නිසා .
කොහොම උනත් මේවා තමයි ඒ ලක්ෂණ වෙන්නේ . අලි ඇත්තුන්ගේ ෆොටෝ ටිකක් අරගෙන මේවා එක්ක සසඳලා බලන්න මේ ලක්ෂණ අනුව අලි ඇත්තු වෙන් කරන්න පුළුවන් ද කියලා .
01. කලාවක
මෙයාලගේ ඇස් ඉතාම අඳුරු පැහැතියි . ඒ වගේම පාද කොටයි . සම තද කළු පාටයි . වලිගය වක් වෙලා පිහිටනවා . ඒ වගේම කකුලේ නිය පොතුත් හොඳට වක් වෙලා පිහිටනවා .
02. ගංගෙයිය
විශාල හිසක් තියෙනවා මෙයාලට . ඒ වගේම මෙයාලගේ කකුල් හොඩවැල වලිගය තරමක් දිගයි . නියපොතු විශාලයි . ඒ වගේම කකුල් වල යටිපතුල් පළල වැඩි ස්වභාවයක් ගන්නවා .
03. පන්දර
දිගටි විශාල හිසක් පිහිටනවා මෙයාලට . හොඩය පටන්ගන්න හරිය තරමක් පළලින් වැඩියි . නියපොතු තද කහ පාටක් ගන්නවා . ඒ වගේම මෙයාලගේ සම අළු පාටට හුරු කළු පාටක් වෙනවා .
04. තම්බ
මෙයාලගේ ඔලුව වැඩිය ලොකු නෑ . ඒ වගේම හොඩය කොටයි පටුයි . කකුල් සිහින් වෙනවා . කන්දෙක ලොකුවට පිහිටනවා . ඒ වගේම ශරීරය තඹ පාටට හුරු කළු පාටක් ගන්නවා මෙයාලගේ .
05. පිංගල
ලොකු හිසක් තියෙනවා මෙයාලට . හොඩය පටන්ගන්න තැන ගොඩක් විශාලයි . දිගත් නැති කොටත් නැති කකුල් තියෙනවා . ඒ වගේම දිගටි ඇස් දෙකක් මෙයාලට හිමි වෙනවා .
06. ගන්ධ
හිස , හොඩය . කකුල් කුඩාවට පිහිටනවා මෙයාලගේ .ඇඟ තද කළු පාටයි වගේම හම තරමක් වැඩිපුර ගොරෝසු වෙනවා .වලිගය නැමිලා නැත්නම් දඟර ගැහිලා තියෙන්න පුළුවන් . ඒ වගේම ඇඟේ ගොඩක් රෝම පිහිටනවා මෙයාලගේ .
07. මංගල
හිස හොඩය දල දෙක පාද හතර සහ කන් දෙක විශාලව පිහිටනවා . යටිපතුල වෙන අයට වඩා පළල වෙනවා . ඒ වගේම මහතින් වැඩි ශරීරයක් සහ බිම ගෑවෙන වලිගයක් මේ අයට ලැබෙනවා .
08. හේම
තරමක් ඉදිරියට නැවුන ශක්තිමත් හිසක් තියෙනවා මෙයාලට . දිගටි ඇස් වගේම මධ්‍යම ප්‍රමාණයේ හොඩයක් තියෙනවා .ඇඟ සහ කකුල් විශාලයි වගේම මහතයි . වලිගය නැවිලා තියෙනවා . ශරීරය අළු පාටට හුරු කළු පාටක් ගන්නවා . නියපොතු රතු පාටට හුරු වෙනවා .
09. උපෝසථ
හිස , කන්දෙක , ශරීරය මධ්‍යම ප්‍රමාණයේ පිහිටනවා . ඒවගේම දිගටි පාද හතරකන් යුක්ත වෙනවා . නියපොතු කහ පාටයි . හොඩය ලිංගය වලිගය කියන තුන බිම ස්පර්ෂ වෙනවා . ශරීරය අළු පාටට හුරු කළු පාටක් ගන්නවා .
10. ඡද්දන්ත
ශරීරය ඉතාම මහතයි . ඒ වගේම ඇස් දිගටියි . කකුල් හතරත් දිගින් වැඩියි . ඇස් දෙක රන් වන් පාටයි . ඒවගේම ශරීරයත් දීප්තිමත් පැහැයක් ගන්නවා . හොඩය , ලිංගය වලිගය කියන තුනම බිම ස්පර්ශ වෙනවා .
මෙන්න මෙහෙමයි මේ අයගේ ලක්ෂණ පිහිටලා තියෙන්නේ . මේවට කවි ශ්ලෝක වගේ දේවල් අලි බලන අය පාඩම් කරගෙන ඉන්නවා. ඒ වගේම තව වැදගත් දෙයක් කියන්න ඕන මේ අලි කුල වලට එක එක අලි නිසා අලි හාම්පුත්තුන්ගේ ඉරණම තීරණය වෙන හැටි ගැනත් යම් කිසි පිළිගැනීමක් තියෙනවා .
ඒ මෙන්න මෙහෙම .
01. කලාවක = හාම්පුතාට අවාසනාව අරගෙන එනවා
02. ගන්ගෙයිය = හාම්පුතාට ශෝකය සහ අවාසනාව අරගෙන එනවා .
03. පන්දර = හාම්පුතා දුප්පත් කෙනෙක් වෙනවා .
04. තම්බ = හාම්පුතාට හා පවුලේ අයට හදිස්සි මරණය ගෙන එනවා .
05. පිංගල = හාම්පුතාට මරණය ධන හානි වීම ගෙන එනවා .
06. ගන්ධ = හාම්පුතාට මධ්‍යස්ථ ලැබීමක් ලැබෙනවා .
07. මංගල = හාම්පුතාගේ තේජස වැඩි වෙනවා .
08. හේම = හාම්පුතාට වාසනාව යහපත ලැබ දෙනවා .
09. උපෝසථ = හාම්පුතා දීර්ගායුෂ විඳිනවා වාසනාවන්ත වෙනවා .
10. ඡද්දන්ත = හාම්පුතාට කීර්තිය තේජස වාසනාව මහජන බලය අරගෙන එනවා .
මම වගේම අලි ඇත්තු ගැන ඇල්මක් දක්වන අය විශ්වාස කරන හැටියට මිල්ලන්ගොඩ රාජා උපෝසථ කුලයට ආසන්නයි . නැදුන්ගමුවේ රාජා සහ කතරගම වාසනා ඡද්දන්ත කුලයට ආසන්නයි .
මෙන්න මේ කරුණු ගැන සලකලා බලලා තමයි ඉස්සර අලි බලන අය සහ අලි හාම්පුත්තු අලි ඇත්තු තෝරාගත්තේ . අලි ඇත්තු ගැන විස්තර කරනකොට සක් දෙවිඳුට අයිති ඓරාවණ හස්තියා පිලිබඳ ගජගා වන්නමේ කියවෙන ලක්ෂණ සම්බන්ධව සිහිපත් කිරීමක් කරන්න ඕන .
උතුම් මංගල හස්තියෙක්ට හිමි වෙන්න ඕන ලක්ෂණ මොනවද කියලා මේ ගජගා වන්නමේ සඳහන් කරුණු අපිට අදහසක් ලබා දෙනවා .
දෙව්පුර ඇතෙකී – කුඹු දහසයකී
දිග දළ අටෙකී – සත් ගැබකී
වැව් පොකුණු ද කී – සත් සිය ගැන කී
එක පොකුණෙකී – සිවු මලෙකී
සිවු මල පෙති කී – ගැන තිස් දෙකකී
පෙත්තක නටු කී – සිවු සැටෙකී
කව් කර වැනුකී – ලෙවු ඉසි බසෙකී
ගජගා නමකී – වන්නමකී
අන්තර්ජාලයේ පලවු දර්ශණ ධර්මවර්ධන මහතා ගේ ලිපියකි ….එතුමාට ස්තුතිය..