2025 ආසියානු කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කනිෂ්ඨ හොකී කණ්ඩායම් වෙත විෂන් කෙයා අනුග්‍රාහකත්වය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි, ශ්‍රවණ සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය, ජූලි 1 සිට 13 දක්වා චීනයේ ඩාෂෝහිදී පැවැත්වීමට නියමිත 2025 ආසියානු කුසලාන තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා 18න් පහළ පිරිමි සහ කාන්තා කනිෂ්ඨ හොකී කණ්ඩායම් සඳහා අනුග්‍රහය ලබා දී තිබේ. දශකයකට වැඩි කාලයකට පසු, 18න් පහළ බාලිකා කණ්ඩායම ජාත්‍යන්තර වේදිකාවට නැවත පිවිසෙමින් මෙම තරඟාවලියට එක්වීම විශේෂත්වයකි.

මෙම අනුග්‍රාහකත්වයෙහි තවත් වැදගත් අංගයක් වශයෙන්, ජාත්‍යන්තර වේදිකාවේ විශ්වාසයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අපගේ කණ්ඩායම් සම්පූර්ණයෙන්ම සන්නද්ධ බව සහතික කරමින්, ක්‍රීඩකයින් 18 දෙනෙකු සහ නිලධාරින් 8 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් දෙකකටම සම්පූර්ණ ක්‍රීඩා කට්ටල සැපයීම විෂන් කෙයා ආයතනය විසින් සිදු කර ඇත. මීට අමතරව, ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කාර්ය සාධනය වැඩිදියුණු කිරීමේ අරමුණින් තරඟාවලියට පෙර සියලුම ක්‍රීඩකයින් සඳහා පුළුල් අක්ෂි පරීක්ෂණ පවත්වන ලදී.

අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ක්‍රීඩාව තුළින් අනාගත පරම්පරාවන් පෝෂණය කිරීම සඳහා විෂන් කෙයා ආයතනය නිරන්තරයෙන් කැපවී සිටින අතර, ශ්‍රී ලංකා හොකී සම්මේලනය සමඟ ඇති කර ගත් මෙම හවුල්කාරිත්වය එම මෙහෙවර කරා යන ගමනේ තවත් පියවරකි.

විෂන් කෙයා ආයතනයේ වෙළෙඳ කළමනාකාර කසුන් විජේසේන මහතා මෙසේ අදහස් දැක්වීය, “2025 ආසියානු කුසලාන තරඟාවලියට සහභාගී වන අපගේ කනිෂ්ඨ හොකී කණ්ඩායම් සඳහා අනුග්‍රහය ලබා දීම අපේ අනාගත පරපුර වෙනුවෙන් කරන  ආයෝජනයක් ලෙසින් අප සලකනවා.  අපගේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් කෙරෙහි විශ්වාසය තබමින් ශ්‍රී ලංකාව ලෝක වේදිකාවට ගෙන යාමට ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබා දීමට හැකිවීම ගැන අප ආඩම්බර වෙනවා.”

2025 ආසියානු කුසලාන තරඟාවලිය, ශ්‍රී ලංකාවේ තරුණ හොකී ක්‍රීඩකයින්ට තම හැකියාවන්, කැපවීම සහ ජාතික අභිමානය පෙන්වීමට අනගි අවස්ථාවකි.

ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ සභාපති පී. විශ්වනාදන් මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ “අපගේ ජාතික කනිෂ්ඨ හොකී කණ්ඩායම් වෙනුවෙන් විෂන් කෙයා ආයතනය ලබාදුන් සහයෝගය පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. මෙම අනුග්‍රාහකත්වය කණ්ඩායමට දැඩි වටිනාකමක් එක් කර ඇති අතර ක්‍රීඩකයින්ට සහ නිලධාරීන්ට නව ශක්තියක් සහ දිරිගැන්වීමක් ගෙන දී තිබෙනවා.”

ශ්‍රී ලංකා 18න් පහළ පිරිමි සහ කාන්තා කනිෂ්ඨ හොකී කණ්ඩායම් සඳහා අනුග්‍රහය ලබා දීම තුලින් අක්ෂි සත්කාර ක්ෂේත්‍රයේ මෙන්ම ක්‍රීඩා ක්ෂේත්‍රයේද සංවර්ධනය වෙනුවෙන්  විෂන් කෙයා ආයතනයේ සක්‍රීය සහභාගීත්වය  මනාව පිළිබිඹු කරයි

කතාව.. ජයන්ත වීරසේකර

Related posts

පැරිස් ඔලිම්පික් ඉවර වෙලා මාස 4යි. පට්ට වටිනවා කිව්ව පදක්කම්වල පාට වෙනස් වෙයි

යුනිස් ඛාන්ට ඇෆ්ගනිස්තානයෙන් වගකීමක්

ශ්‍රී ලංකාවට ලකුණු 256ක ඉලක්කයක්