ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රතිසංස්‌කරණ උත්සව

සටහන..අරුනඩෙල් විජේරත්න

දැරිය නහවන දින නැකත උදා වීමට ප්‍රථම රෙදි නැන්දා පොල් මලෙහි ඉතිරිව ඇති පොල් ඇටි ප්‍රමාණය ගණනය කිරීමෙන් අනාගතයේ ඇයට හිමි දරුවන් ප්‍රමාණය පවසයි.

මානව සම්භවය ආරම්භයේ සිට මේ දක්‌වා සමාජය විවිධ හේතූන් මත පදනම්ව ක්‍රමික විකාශනයන්ට ලක්‌ වී ඇත. ගස්‌ මත සිටි වානරයා ඉන් බැස, දෙපයින් සිට ගත් දා පටන් ඔහුගේ මනස තුළ තාර්කික හැකියාව වර්ධනය වන්නට විය. ඒ අනුව වෙන් වෙන් වශයෙන් ජීවත් වූ මානවයා කොටස්‌ වශයෙන් ඒකරාශී වීම සිදු විය. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ඔවුන්ට අනෙකා සමග තම අදහස්‌ උදහස්‌ සන්නිවේදනය කොට ගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා නිශ්චිත භාෂාවක්‌ නොමැති වීම නිසා තම ශරීර අංගයන් උපයෝගි කොට ගෙන විවිධ සංඥා සංකේත මගින් පුද්ගලයා තම සන්නිවේදන කාර්යයේ නියුතු වන්නට විය.

එහිදී පුද්ගලයා තමන්ට අනන්‍ය වූ සංඥා, සංකේත රටාවන් නිර්මාණය කර ගන්නා ලදී. පුද්ගල ජීවිතයේ විවිධ අවස්‌ථාවන් නිරූපණය කිරීමට විශේෂ වූ සන්නිවේදන රටාවන් යොදා ගැනීම ද සිදු වේ. පුද්ගලයා විසින් තම සන්නිවේදන ක්‍රියාවන් උදෙසා නිර්මාණය කර ගන්නා ලද මෙකී සංඥා, සංකේත විධීන් ප්‍රදේශයෙන් ප්‍රදේශයට, කාලයෙන් කාලයට වෙනස්‌ වෙමින් අද්‍යතනය දක්‌වා පැමිණ තිබේ.

විශ්ව මානව භාෂාව නිර්මාණය වීමේදී ඒ සඳහා කාලයෙන් කාලයට පුද්ගලයා පරිසරය ඇසුරින් ලද අත්දැකීම් මනා පිටිවලක්‌ විය. භාෂාව මූලික වශයෙන් කථන හා ලි�ත වශයෙන් බෙදා වෙන් කොට ඇති අතර ප්‍රාථමික යුගයේදී මානවයා සතුන්ගේ ලේ, ශාක පත්‍ර ආදිය යොදා ගෙන වර්ණ නිපදවා ගනිමින් ගල් ගුහා තුළ තමන් දුටු දේ සිතුවම් කිරීම මගින් ලි�ත සන්නිවේදනයන් සිදු කරන ලදී. මුඛයෙන් විවිධ හ`ඩවල් නිපද වීම, අත්පුඩි ගැසීම ආදිය තුළින් කථන භාෂාවේ මූල බීජ නිර්මාණය කරන්නට විය.

භාෂාව යන්න සන්නිවේදනයේදී යොදා ගන්නා මූලිකම දෙය වන අතර, ඒ තුළට සංඥා, සංකේත, චිත්‍ර, අක්‌ෂර, වර්ණ, ඉදිකිරීම් ආදී සියල්ල අයත් වේ. භාෂාව යනු මේ සියල්ලෙහි සම්මිශ්‍රණයකි. මානවයාගේ බුද්ධි සංවර්ධන ක්‍රියාවලිය හා සමගාමීව සන්නිවේදන භාෂාව ද දියුණු වන්නට විය.

භාෂාවේ විවිධ ප්‍රයෝග අතර සංඥා හා සංකේත සුවිශේෂි වේ. ඊට හේතු වන්නේ පුද්ගලයා තම ශරීරයේ විවිධ අංග උපාංගයන් උපයෝගි කොට ගනිමින් තම දෛනික ක්‍රියාවලීන් සිදු කර ගැනීමයි. භාෂාව යනු සමාජ සංස්‌කෘතියේ ප්‍රධාන අංගයක්‌ වේ. සංස්‌කෘතිය පිළිබඳ කරනු ලබන සාකච්ඡාවේදී භාෂාව සංස්‌කෘතික විවිධත්වය ඇති කරන මූලික සාධකයක්‌ ලෙසින් සැලකේ

මිනිසාගේ විවිධ සංස්‌කෘතික අංගයන්, උත්සව ආදිය සහ ඒවා තුළ ක්‍රියාත්මක වන චාරිත්‍ර වාරිත්‍ර මත පදනම්ව සමාජය පරිණාමය වේ. සමාජය තුළින් පුද්ගලයා ලද අත්දැකීම් සහ දැනුම් ප්‍රමාණය ඒ සඳහා බලපාන හේතු සාධකයන් බවට පත් වේ. ඒ අනුව පුද්ගලයාගේ දෛනික ජීවිතයේ පවතින සුවිශේෂී අවස්‌ථාවන් මූලික කොට ගනිමින් පවත්වනු ලබන ජීවන චක්‍ර උත්සව සමාජය තුළ සංස්‌කෘතිමය වශයෙන් පවත්වන සමාජ ප්‍රතිසංස්‌කරණ උත්සව ආදිය පිළිබඳව විශේෂ සැලකිල්ලක්‌ දක්‌වයි.

මෙම උත්සව හේතුවෙන් කාලීන වශයෙන් සමාජ සංස්‌කෘතිය තුළ නව අංගයන් බිහි වීම සිදු වේ. විද්‍යාව සහ තාක්‌ෂණයේ වේගවත් දියුණුවත් සමග නව නිෂ්පාදනයන් සහ සොයා ගැනීම් විශ්වය පුරා මිනිසාගේ මූලිකත්වයෙන් සිදු වුව ද ජීව විද්‍යාත්මක වශයෙන් පුද්ගලයා තම අතීතය ද ගනුදෙනු කිරීමට ඇති කැමැත්ත මත පදනම්ව සාම්ප්‍රදායික දේ තුළින් විතැන් නොවී ජීවත් වේ.

පුද්ගලයා සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර , සමාජ සංසිද්ධීන් හා අෙන්‍යාන්‍ය වශයෙන් බැඳී පැවතීම හේතුවෙන් සමාජ ප්‍රතිසංස්‌කරණය සිදු වන්නේ පුද්ගලයාට අනන්‍ය වූ උරුමයන් සමගිනි. බොහෝ සමාජයන්හි පවත්නා වූ අනන්‍යතා මතු කොට දැක්‌වීමට සංස්‌කෘතිය තුළ පවතින යාතු කර්ම හේතු කොට ගනී. ඒ අනුව ජීවන චක්‍ර උත්සව යනු පුද්ගලයාගේ දෛනික ජීවිතයේ සුවිශේෂි අවස්‌ථාවන් සැමරීම උදෙසා කරනු ලබන දේවල්ය. මෙහිදී චාරිත්‍ර යනුවෙන් කළ යුතු දෑ ද චාරිත්‍ර යනුවෙන් නොකළ යුතු දෑ ද සම්මත කොට ගෙන ඇත.

පුද්ගල ජීවිතයේ සංක්‍රාන්තික අවදි සමග සම්බන්ධ යාතු කර්ම චාරිත්‍ර හෙවත් ජීවන චක්‍ර උත්සවයන්හි චාරිත්‍ර, ද්වාර කර්ම, (rites of passage) චාරිත්‍ර ලෙසද හඳුන්වයි.

මානව ජීවිතයේ සුවිශේෂි අවස්‌ථාවන් ලෙස සැලකෙන උපත, වැඩිවියට පැමිණීම, විවාහය, මරණය ආදිය සඳහා ඔහු විසින් චාරිත්‍ර රැසක්‌ අනුගමනය කරනු ලබයි. මේවා සමාජයෙන් සමාජයට, කාලයෙන් කාලයට යම් යම් වෙනස්‌වීම්වලට ලක්‌ වීම ද සිදු වේ. චාරිත්‍ර වාරිත්‍ර යනු නීති මෙන් පිළිපැදීම අනිවාර්යය නොවේ. චාරිත්‍ර වාරිත්‍ර කඩ කළ විට නීතිය මගින් ද`ඩුවම් හිමි නොවේ. නමුත් වස්‌ වැඳීම්, සමාජයෙන් කොන්කිරීම, සංස්‌කෘතියට අවනත නොවීම ආදී වශයෙන් අනෙක්‌ පුද්ගලයාගෙන් එල්ල වන විරෝධතාවන්ට නතු වීමට සිදු වේ.

මිනිසා විසින් දීර්ඝ කාලයක්‌ පුරා වෙනස්‌වීම්වලට ලක්‌ වෙමින් පවත්වාගෙන යනු ලබන සංස්‌කෘතික රටා පුද්ගලයාගේ සිතුම්, පැතුම් හා සාරධර්ම ආදිය ඉස්‌මතු කොට දක්‌වයි. ඒ අනුව පුද්ගල ජීවිතයේ සංක්‍රාන්තික අවධි සමග සම්බන්ව පවත්වනු ලබන යාතු කර්ම චාරිත්‍ර අතුරින් මල්වර මංගල්‍ය චාරිත්‍රයන් සුවිශේෂි වේ. මෙම ද්වාරකර්ම සංසිද්ධිය මූල යුගයන්ට සාපේක්‌ෂව අද්‍යතනය වනවිට යම් යම් වෙනස්‌වීම්වලට භාජනය වී ඇත.

වැඩිවියට පැමිණීම වෛද්‍ය විද්‍යාවට අනුකූලව ස්‌ත්‍රීන් තුළ සාපේක්‌ෂ වශයෙන් පැවතුණ ද ලෝකයේ බොහෝ රටවල එම සංසිද්ධිය උත්සවාකාරයෙන් සැමරීම මගින් සංකේතවත් කරයි. මානව සංස්‌කෘතික හර පද්ධතිය තුළ ගොඩනැඟුණු චාරිත්‍ර ධර්ම ඔස්‌සේ ගැහැනු දරුවෙකුගේ ජීවිතයෙහි සුවිශේෂි අවස්‌ථාවක්‌ ඒ සමාජයෙහි අනන්‍යතාව තුළ විදහා දැක්‌වීම මෙම උත්සවය මගින් සිදු වේ. මෙම උත්සවය තුළ විවිධ සංඥා සංකේත මගින් චාරිත්‍ර විධි පවත්වනු ලබයි. මෙම උත්සවයේ වත් පිළිවෙත් සහ සංකේත මගින් ලිංගික බව, සරු බව, විවාහය, මාතෘත්වය සහ යටහත් බව ආදිය පිළිබිඹු කරන බව පිළිගැනේ. ඒ අනුව ද්වාර කර්ම චාරිත්‍රයක්‌ ලෙස සැලකෙන මල්වර මංගල්‍යය ජීව විද්‍යත්මක මෙන්ම සමාජ විද්‍යාත්මක වටිනාකමින් යුතු සංසිද්ධියක්‌ බව ගම්‍ය වේ.

මල්වර වීම චාරිත්‍රයන්ට අනුකූලව සිදු කිරීමේදී ශ්‍රී ලාංකිකයන් අනෙක්‌ ජීවන චක්‍ර උත්සවයන්ට වඩා වැඩි විශේෂත්වයක්‌ ලබා දී ඇති බව පෙනේ. මෙය ලාංකිකයන් අතර වඩා ජනප්‍රිය ද්වාර කර්ම චාරිත්‍රයකි. වැඩිවියට පැමිණීම හෙවත් මල්වර වීම ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම පොදු වූ තත්ත්වයකි. නමුත් දේශීය සන්දර්භය තුළ ප්‍රවණතාව වනුයේ ස්‌ත්‍රීන් වැඩිවියට පැමිණීම තේමා කර ගනිමින් එය යාතුකර්මීයව සැමරීමට ලක්‌ කිරීමයි. මල්වර වීම, දෙඅත්තෙන් වැටීම, වැඩිවිය පැමිණීම, ලොකු වීම, වැඩිහිටි වීම, දැනමුතු වීම, ළමිස්‌සියක වීම, කොටහළු වීම, දෙපතු වීම, ගෙට වීම, ප්‍රථම ආර්තවය, කිලි වීම, ප්‍රථම කිලි වීම, නිරඹු වීම, පිළි හොඳ වීම, බැහැනක්‌ වෙනවා, උතු ශ්‍රැනම, ජම්බු ගහෙන් වැටෙනවා, රජස්‌ වීම, මාස්‌ ගැන්නුම, බැද්දේ පැනීම යනාදී නම්වලින් ලාංකීය සමාජය තුළ විවිධ ප්‍රදේශයන්වල හඳුන්වයි.

ශ්‍රී ලංකාව තුළ මල්වර චාරිත්‍රයේ ආරම්භය ලෙස සැලකෙන්නේ ඉපැරණි ලක්‌දිව සිංහල රාජ්‍ය පාලන සමයට වඩා පැරණි කාලයකි. අනෙක්‌ ශාන්ති කර්මයන්ට සාපේක්‌ෂව මල්වර මංගල්‍යය හා සම්බන්ධ පුරා වෘත්ත පූජා විධි රටා බොහොමයක්‌ පවතී. ඒවා සංඥා, සංකේත මගින් ඉදිරිපත් වේ. මල්වර මංගල්‍යය නීල දේව හා මහා සම්මත පුරාණය යන ඓතිහාසික පුරාවෘත්ත දෙක හා සම්බන්ධ පවතිත බවට ද මතවාදයන් පවතී. රිදී නැන්දා හෙවත් රෙදි නැන්දා නමැති අඩු කුල කාන්තාවක විසින් මල්වර මංගල්‍යයේ චාරිත්‍ර සිදු කරනු ලබයි. ගැහැනු දරුවෙකු මල්වර වූ පසු පුරුෂයන්ට ඇස නොගැසෙන ලෙස සඟවා තබා , නැකතකට අනුව නෑවීම සිදු කරයි. බෙහෙත් වර්ග ගැල්වූ මැටි කලයකින් රෙදි නැන්දා විසින් මල්වර ස්‌ත්‍රිය නෑවීම සිදු කරනු ලබයි. කිරි ගසක්‌ දෙස බැලීම, පොල් ගැසීම ආදිය ද මෙම චාරිත්‍රය තුළ වේ. මල්වර වීමෙන් පසු පුරුෂයන් දැකීමට පෙර කිරි ගසකට කොටා කිරි දැකීම මගින් එම ස්‌ත්‍රියගේ සරු බව ඇති වන සුබ නිමිත්තක්‌ පෙන්වන බව දක්‌වයි. කිරි දැකීම තුළින් ස්‌ත්‍රියගේ සරු බව, සශ්‍රීකත්වය සංකේතවත් කරයි. පොල් බිදීම තුළින් ඇගේ සියලු වස්‌ දොස්‌ දුරු වන බව පිළිගැනීම වේ. මෙවැනි සංඥා සංකේත පාදක කොට ගනිමින් මල්වර මංගල්‍යය පවත්වයි. පුරුෂයන් නෙත නොගැසෙන ලෙස මල්වර ස්‌ත්‍රිය තබා ඇති ස්‌ථානය කිලි පැල ලෙස හඳුන්වන අතර තනි රැකීමට වැඩි මහලු ස්‌ත්‍රියක්‌ නිතරම ළඟ රැඳෙන අතර අදෘශ්‍යමාන බලවේගයන්ගෙන් ආරක්‌ෂා වීම සඳහා යකඩ ආයුධයක්‌ හිස තබන කොට්‌ටයට යටින් තබයි. එළියට යන අවස්‌ථාවලදී යකඩ ඇණයක්‌, කම්බි කැබලි, ගිරය වැනි ලෝහ ආයුධයක්‌ රැගෙන යැම සිදු වේ. මේවා කිලි මංගල්‍යයේදී යොදා ගන්නා සංකේත භාවිතයන් වේ. මීට අමතරව කිලි පැලෙහි කොනක නැවුම් කළයක රඳවන ලද පොල් මලක්‌ තබන අතර එයින් දැරිය පිළිබඳ අනාගත අනාවැකි රිදී නැන්දා විසින් පවසන බව කිය වේ. මේ අනුව මල්වර දැරියගේ අනාගතය පිළිබඳ තොරතුරු දැන ගත හැකි සංකේතයක්‌ ලෙස මෙම පොල් මල යොදා ගන්නා ලදී. මෙම පොල් මල තුළින මල්වර ස්‌ත්‍රියගේ දරු ඵල පිළිබඳ අනාවැකි ප්‍රකාශ කරන බවට ද මතයක්‌ පවතී. ඒ අනුව මල්වර මංගල්‍යයේදී මෙය ප්‍රබල සංකේතයකි.

දැරිය නහවන දින නැකත උදා වීමට ප්‍රථම රෙදි නැන්දා පොල් මලෙහි ඉතිරිව ඇති පොල් ඇටි ප්‍රමාණය ගණනය කිරීමෙන් අනාගතයේ ඇයට හිමි දරුවන් ප්‍රමාණය පවසයි.

සමාජ වෙනස්‌ වීම හා සමානුපාතිකව මල්වර චාරිත්‍ර ආශ්‍රිතව ඇති වී තිබෙන නව ප්‍රවණතා පිළිබඳ සලකා බැලීමේදි ඒවා තුළ යම් යම් වෙනස්‌වීම් සිදු වී ඇත. සම්ප්‍රදායික මුල් කාලීන චාරිත්‍රයන්ට අනුව වැඩිවියට පත් දැරිය නිදා ගැනීම සඳහා බිම පිළියෙළ කෙරුණු පැදුරක්‌ යොදා ගත් අතර වර්තමානයේදී ඇඳෙහි නිදා ගැනීම සිදු කරයි. රිදී නැන්දාගේ චරිතය අද්‍යතනයේ දැරියගේ මව, ලොකු අම්මා, නැන්දා වැනි අය අතින් සිදු කරනු දක්‌නට ලැබේ. කොටහළු ගොඩ ආශ්‍රිත චාරිත්‍රය තුළ ද සංකේත භාවිතයන් බහුලව සිදු වේ. නිවසේ මැද පැදුරක්‌ එලා ඒ මත වී ලාහක්‌ අතුරා එහි කැවුම්, කිරිබත්, කෙසෙල් ගෙඩි, බුලත්, පුවක්‌, පොල් ගෙඩියක්‌. පහනක්‌, පොල් මල් හා හත් මාළුව තැබීම සිදු කරයි. මේවා තුළින් මල්වර ස්‌ත්‍රියගේ අනාගතය හා බැඳුනු අනාවැකි සංකේතවත් කරවයි.

මල්වර මංගල්‍යය හැරුනු විට විවාහ මංගල උත්සව ද ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ජනප්‍රිය ද්වාර කර්ම චාරිත්‍රයක්‌ ලෙස සැලකිය හැකිය. මල්වර මංගල්‍යය හා බැඳුනු චාරිත්‍රයන් අද්‍යතනය වනවිට ශ්‍රී ලංකාවේ සමහරක්‌ ප්‍රදේශවලට පමණක්‌ සීමා වී ඇති අතර එය එතරම් සැලකිල්ලට ගනු නොලබන්නක්‌ බවට පත් වී ඇත. ඒ අනුව අද්‍යතනය වනවිට ශ්‍රී ලාංකික ජනයා අතර වැදගත්ම සහ ජනප්‍රියතම ජීවන චක්‍ර උත්සවය බවට පත්ව ඇත්තේ විවාහ මංගල උත්සවයයි. මෙය ඇතුඵ බොහෝ සංඥා සංකේත යොදා ගැනීම සිදු කරයි. ඒ අතර මංගල පෝරුව, අෂ්ඨක ගායනය, කිරිකඩ සේලය පිදීම ආදිය ප්‍රධාන වේ.

විවාහ මංගල උත්සවයකදී වැදගත්ම සංකේත බවට පත්වන්නේ මංගල පෝරුවයි. මංගල පෝරුව මත චාරිත්‍ර සිදු කරයි. බෞද්ධ සංස්‌කෘතියත් සමග පැමිණි ඉන්දීය ආභාසය ලැබූ සංකල්පය ලෙස මංගල පෝරුව සැලකෙන අතර ජීවිතයේ සෞභාග්‍ය හා සශ්‍රීකත්වය පෝරුවේ චාරිත්‍රයෙන් සංකේතවත් කරයි. පෝරුව මත ඇති සියල්ල මගින් නව යුවලගේ ජීවිතය හා බැඳුනු යම් යම් දෑ පිළිබඳ සංඥා සංකේත ඉදිරිපත් කරයි.

අතීත සමාජය තුළ පෝරුව වී ගොඩක්‌ උපයෝගි කොටගෙන නිර්මාණය වී ඇත. ඒ මත සී සෑමට යොදා ගනු ලබන පෝරු ලෑල්ල තබා මනාල මහතාගේ අමුඩ ලේන්සුව එහි තැන්පත් කොට ඒ වටා බුලත් කොළ තබා ධාන්‍ය ගොඩ සතර දිශාවෙහි පොල් මල් සතරක්‌ තබා විලක්‌කු හෙවත් පන්දම් සතරක්‌ සකස්‌ කොට සාදා ගත් විශේෂිත වූ පීඨිකාවක්‌ ලෙස පෝරුව සකස්‌ විය. අනතුරුව එයට මෝල් ගස්‌ දෙකක්‌, සහල්, ගොක්‌ කොළ, ලෑලි ආදිය එකතු වන්නට විය. ඊට අමතරව ලද පස්‌ මල්, බුලත්, උළු, මුං, තල, මෑ, මෙනේරි ආදී ධාන්‍යවලින් පෝරුව සමන්විත විය. මෙම ධාන්‍ය වර්ග තුළින් භව භෝග සංකේතවත් කරන අතර, කපු ඇටවලින් වස්‌ත්‍ර සංකේතවත් කරන ලදී. ඉදි කටුව හා නූල් බෝලය යොදා ගැනීම තුළින් වස්‌ත්‍ර සකස්‌ කිරීම සංකේතවත් කරයි. පෝරුව පසෙකින් තබා ඇති කැත්ත හා පොල් ගෙඩිය මගින් දරු සම්පත් සංකේතවත් කරයි. මේ සඳහා හේනේ මාමා නැතහොත් රෙදි නැන්දා යන අයගේ සහාය ලබා ගනී.

අෂ්ඨක ගායනය මගින් සංකේතවත් කරනුයේ යුවත්පතින්ගේ යුග දිවිය අපල උපද්‍රවවලින් තොර යස ඉසුරින් පිරි සෞභාග්‍ය සම්පන්න කිරීමයි. අෂ්ඨක ගායනය සිදු කරනුයේ අට දිශාවෙන් එල්ලවන උපද්‍රවයන්ගෙන් ආරක්‌ෂාව ලැබීම සඳහාය. ශරීරයේ අංග අටකට බෙදා ශාන්ති කර්ම සිදු කරයි. එනම් සිරස, බෙල්ල හා දෙවුර, ළමැද හා දෙඅත, උදර, රහස, කලව, දෙදණ, කෙණ්‌ඩ හා පතුල ය. පසු කාලීනව අෂ්ඨක රීතිය නවග්‍රහ අෂ්ඨක ලෙස ජෝතිෂ්‍ය සමග මිශ්‍ර විය.

කිරිකඩ සේලය හෙවත් කච්චි සේලය මනාලියගේ මෑණියන්ට ලබා දීම ද සංකේතාත්මක ද්වාර කර්ම චාරිත්‍රයකි. මෙහිදී සිය මනාලියට මනාලියගේ මෑණියන් පෙවූ කිරි වල පව් අරවා ගන්නට මනාලයා විසින් කිරිකඩ සේලය පිදීම සිදු කරනු ලබන බව සංකේතවත් කරයි. ඇතැම් පළාත්වලට මෙය සමග ගිරයක්‌ හා හුණු කිල්ලෝටයක්‌ ද ලබා දෙයි. කච්චි කිරිකඩ, ගෙට දෙන සේලය ලෙසද මෙය හඳුන්වයි.

කඩලු තහංචිය ද විවාහ මංගල්‍ය හා බැඳුනු සංකේතාත්මක ද්වාර චාරිත්‍රයකි. නෑනා මස්‌සිනාට අයත් බව පැරැන්නන්ගේ මතයකි. ඒ අනුව නෑනාව විවාහ කර ගැනීමට පැමිණෙන මනමාලයා සහ ඔහුගේ පිරිස පිළිගැනීම හෝ ප්‍රතික්‌ෂේප කිරීම කඩුලු බුලත් දීමේ චාරිත්‍රය මගින් සංකේතවත් කරයි. නෑනාගේ විවාහය මස්‌සිනා කැමැත්ත පළ කරන්නේ නම් කඩුල්ල අසලදී බුලත් අතක්‌ දී පිළිගැනීම සිදු කරනු ලබන අතර අකැමැති නම් කඩුලු තහංචි යෙදීම මගින් ඒ බව සංකේතවත් ලෙසින් දක්‌වයි.

අවමංගල චාරිත්‍රයන් තුළ ද සංඥා සංකේතයන් භාවිත කරයි. මරණය සිදු වූ පසු නිවසේ ඇති පින්තූර කණ පිට පෙරළීම, බුලත් තට්‌ටුවේ බුලත් කොළ කණපිට හරවා තැබීම, මළ මිණිය රැගෙන යන විට විළඳ ඉසීම, මගුල් බෙර හ`ඩ, හොරණෑ හඬ ආදිය අවමංගල චාරිත්‍රයේදී යොදා ගනු ලබයි. (සුදු කොඩි මගින් සිංහල බෞද්ධයන් මරණය සංකේතවත් කරයි.)

Related posts

මඩුවන්වෙල වලව්වේ විත්ති

අපේ වැව් වනසන ආක්රමණික ශාක

රට රටවල අරුම පුදුම අවමංගල චාරිත්‍ර