ලක් ඉතිහාසයේ නොදුටු ඉසව් සොයා ගල්ගනේට

තුන් සිංහලේ රුහුණු රාජධානිය මෙරට අදීනත්වය රැක ගන්නට උර දුන් අභිමානවත් රාජධානියකි. එවන් ඉතිහාසයකට උරුමකම් කියන එබිම සැගවුණු ඓතිහාසික පුරාවිද්‍යාත්මක භූමියක් කරා යන්නට හැකි වූයේ අහම්බයකිනි. මාතර කතරගම A 2 මර්ගයේ යන එන කවරෙක් වුවද දෙවිනුවර නගරයේ මදක් නැවතී යාමට උත්සාහ දරන්නේ ශ්‍රී උත්පලවණ්න දේවාලයේ ආශිර්වාද ලබා ගැනීමේ අදහසින්.

දෙවොලට මදක් එපිටින් දෙවිනුවර හෝරස්ථම්භය දක්නට ලැබෙනවා. අප ඒ අසලින් වම් පසට වූ මාර්ගයේ මද දුරක් ගමන් කොට පටු මාවතක් ඔස්සේ ඉදිරියට ඇදුනේ අර්ධ නාගරික නිවාස පේළියක් අතරිනි. දුටු සැනින් ගත සිත නිවාලූ ගල්ගනේ රජ මහා විහාරය අප ගමනාන්තය විය. විහාරාධිපති හෙල්ලල විමලරතන හිමි බැහැ දැක අපගේ අවශ්‍යතාවය පැහැදිලි කල පසු උන්වහන්සේ අප සොයාගිය විශිෂ්ඨ නිර්මාණය කරා අප රැගෙන යාමට තරම් කාරුණික විය.

පඩි කිහිපයක් නැග විහාරස්ථාන බිමට ඉහලින් පිහිටි පරිශ්‍රය වෙත පැමිණි අප දුටු දසුන නෙත් අදහා ගත නොහැක්කක් විය. මේ අප සිටිනනේ ඓතිහාසික පොළොන්නරුවේ යැයි සිතෙන තරමටම ඒ හැගීම තීව්‍ර වූ බව කිවහොත් එහි වරදක් නැත. මක් නිසාද අප ඉදිරියෙහි වූයේ පොළොන්නරු යුගයට නෑකම් කියන්නේ යැයි සිතෙන සුවිශේෂී ශෛලමය නිර්මාණය කි.

ඒ අසල සැලකිය යුතු තරමේ භූමි පදාසයක් පුරා පැතිරුණු වනස්පතිය එයට එක් කලේ යම් ගුප්තමය ස්වභාවයකි. මේ ගල්ගනේ දේවාලය ලෙස සැලකෙන ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්මාරකය යි. මෙය අද වන විට කිසිදු ආගමික කටයුත්තකට යොදා නොගන්නකි. බැලූ බැල්මට එය සිහි ගන්වන්නේ පොළොන්නරුව ඓතිහාසික ශිව දේවාලය යි. දගින් අඩි 26 ක්ද පළලින් අඩි 16 ක්ද හා උස අඩි 12ක්ද වන සේ ගල් කුට්ටි යොදා ගනිමින් මෙය ගෙඩිගේ සම්ප්‍රදායට සෑදුවකි.

එහි ඇතුලුවන දොරටුවට මදක් ඈතින් සරල කොරවක් ගලක් සමගින් පඩි පේලියකි. ගොඩනැගිල්ලේ අභ්‍යන්තරයට ප්‍රවිෂ්ඨ වීමට ඇත්තේ ශෛලමය උලුවස්සකි. වෙනත් කිසිදු ජනේලයක් හෝ නොතිබීම යම් විශේෂත්වයක්. උලුවස්සේ දෙපැත්තේ නයි පෙන 19 බැගින් ද, එලිපත්තේ නයිපෙන 12 ක්ද කැටයම් කොට ඇත. ඊට ඉහලින් නෙළුම් මල් ද්විත්වයකි. අතීතයේ මෙහි ශෛලමය දොරක් පැවති බව විහාරාධිපති හිමියන් කියූවත් මි පරාසයක් අද වන විට එහි නෂ්ටාවශේෂ හෝ දැක ගන්නට නැත.

ගොඩනැගිල්ලේ අභ්‍යන්තරය කාමර ද්විත්වයකින් යුක්ත වන අතර දන්නා ඉතිහාසය තුල එහි කිසිදු ප්‍රථිමාවක් හෝ සංකේතයක් තිබී නැත. පියැස්ස අඩි 16 බැගින් වූ ගල් ලෑලි යොදා සකස් කර තිබීම විශේෂත්වයකි. බාහිරින් පියැස්ස වටා බහිරව රූප යැයි සැක සිතිය හැකි කැටයම් දක්නට ඇත. මේ කැටයම් කිසිවකට ඉන්දීය ආභාෂය ලදැයි සිතීමට තරම් සාදක නැත.

ගොඩනැගිල්ලෙන් පිටට විත් ඈත බැලූ විට ලංකාවේ දකුණූ කෙලවර වූ මෙරට උසම ප්‍රදීපාගාරයත් මහ සමුදුරත් තුරු ලතා අතරින් දර්ශනය වේ.

එය සැබවින්ම අයස්කාන්ත දර්ශනයකි. ගල්ගනේ මෙම ඓතිහාසික ගොඩනැගිල්ල පිළිබඳ කිසිඳු සාහිත්‍යමය මූලාශ්‍රයකින් පැහැදිලි සඳහනක් නැතුවා සේම නිසි පුරාවිද්‍යාත්මක ගවේශණයක් තුලින් තහවුරු කිරීමක් ද සිදු කර නැත. නමුදු මේ වටා ගොඩ නැගී ඇති ජනප්‍රවාද වල නම් අඩුවක් නැත.

මේ භූමිය සම්බන්ධ පැරණිතම ජනප්‍රවාද රාවණා රජ සමය දක්වාම දිව යයි. රාම රාවණා යුද්ධය සිදු වූයේ දෙවි නුවර ප්‍රදේශයේ බවට මතයක් පවතී. උත්පලවණ්ණ දේවාල පරිශ්‍රයේ වූ ගල් කණුවක කොටා ඇති දුණුවායා බවටද මතයක් ගොඩ නැගී ඇත. වඳුරු දෙණිය හා රාස්සදෙණිය මේ ආසන්නයේ වූ ගම් දෙකකි.

රාවණා රජු ප්‍රමූඛ රාක්ෂ සේනා ලැගුම් ගත් බිම රාස්ස දෙණිය ලෙසද, රාම කුමරුන් ප්‍රමුඛ හනුමන්තා ඇතුලු වානර සේනා ලැගුම් ගත් බිම වඳුරු දෙණිය ලෙසත්, මතයක් පවතී. මේ යුද්ධයේ දී රාවණා රජු හී පහර වැදී වැටුණේ ගල් ගනේ දෙවොල අබියස බවත් කිය යි.

තවත් මතයකට අනුව මෙය රාවණා රජුගේ නැරඹුම් මැදිරියකි. මෙහි පියැස්ස මත ශෛලමය ආසනයක් වැනි නිර්මාණයක් අදද දක්නට ඇත. එහි හිද බැලූ විට සාගරයේ සේම ගොඩබිමද සැලකිය යුතු භූමි පරාසයක් නිරීක්ෂණය කරන්නට හැකිය. යුද්ධය ජයග්‍රහණය කල රාම කුමරු සීතාව සමග මෙහි සිට පෙම් සුව විඳි බවට ද මතයක් පවතී.

බොහෝ විද්වතුන්ට අනුව රාවණා රජු සූර්යය භක්තිකයෙකි. මෙය සූර්යය දෙවොලක් බවටද ඇතමුන් සලකන බව විහාරාධිපති හිමියන් අප සමග පැවසී ය. මෙහි වහලයෙහි වූ සිදුරකින් අභ්‍යන්තරයට සූර්යය කිරණ කදම්භයක් වැටෙන සේ සකස් කර තිබී ඇති අතර එය සිංහල අලුත් අවුරුද්ද උදාවන මොහොතේ නිෂ්චිත ලක්ෂයක් වෙත වැටෙන පරිදි ක්‍රියාත්මක වී ඇත.

අවාසනාවකට මේ පිළිබඳ අවධානය යොමුනොකල බලධාරීන් විසින් එය වසා දමා ඇත්තේ එයින් කාන්දු වන ජලයෙන් මේ ශෛලමය ගොඩනැගිල්ලට හානි පැමිණේ යැයි සඳහන් කරමිනි.

ලක්දිව දකුණු කොණ පිහිටි මෙය සේම ලංකාවේ මධ්‍ය ලක්ෂය ලෙස සලකන මාතලේ දිස්ත්‍රික්කයේ නාලන්දාවේද මෙවැනි ගෙඩි ගෙයක් දක්නට ලැබේ. එය මේ ආකෘතියේම නොවුණත් එයද සූර්ය දෙවොලක් බවට සැක කරන්නකි. ලංකා සිතියමේ මේ ගොඩනැගිලි පිහිටි ස්ථාන යා කර සරල රේඛාවක් නිර්මාණය කොට එය දිගු කලහොත් ලංකා භූමියේ මධ්‍ය අක්ෂයක් ගත හැකි වනු ඇත. මෙහි ගැබ් වුණ රහසක් පවතී දැයි සෙවීම වටී.

ජනප්‍රවාද කුමක් කීවද එහි ඉතිහාසය අනුරාධපුර යුගයේ මැද භාගය දක්වා දිව යන්නේ යැයි සිතිය හැකිය. ක්‍රි.ව 659 – 665 අතර කාලය තුල දෙවිනුවර ප්‍රාදේශීය රාජධානියක් ලෙස දාපුළුසෙන් නම් රජ කෙනෙකු පාලනය කොට ඇත. දෙවිනුවර ඓතිහාසික උත්පලවණ්ණ විෂ්ණු දේවාලය ඉදිකොට ඇත්තේ ද එතුමා විසින් බව කියවේ.

මෙය එතුමා ඉදිකල මුල් දේවාලය ලෙසත් මතයක් පවතී. විහාරාධිපත් හිමියන්ට අනුව අතීතයේ විෂ්ණු දේවාල පෙරහැර මෙහි පැමිණ පහනක් තබා යාමේ චාරිත්‍රයක් අනුගමනය කර ඇත. මේ ප්‍රදේශයේ රජතුමා විසින් ඉදිකල ඓතිහාසික පොකුණු හතක් ඇති අතර ගල්ගෙය ආසන්නයේ ඉන් කිහිපයක් දැක ගැනීමට පුළුවන. සූනියම් පොකුණ, හාමුදුරු පොකුණ ආදී ලෙස ඒවා උපයෝගී කරගත් අරමුණු අනුව නම් යොදා ඇත.

තවත් මතයකට අනුව දෙවිනුවර විෂ්ණු දේවාල භූමියට පැමිණි රජතුමා පරිවාර දේවාල දෙකක් ඉදි කරීම සඳහා භූමියක් වෙන් කර ගැනීම උදෙසා තම දුන්නෙන් දිශා දෙකකට විද ඇත. විෂ්ණු දේවාල භූමියේ දුණුවායා සහිත ගල් කැටයමෙන් නිරූපණය වන්නේ එම අවස්ථාව බවට මතයක් පවතී. මුහුද දෙසට වන්නට පිහිටි සිංහාසන කෝවිලටත් ගල්ගෙයටත් විෂ්ණු දේවාල භූමියේ සිට ඇත්තේ එකම දුරකි.

ගල්ගෙය අසල පිහිටි විහාරස්ථානයේ ඉතිහාසය පළවෙනි සියවස කරා දිව යන්නකි.

එහි පැරණි බුද්ධ මන්දිරයක් සේම දෙතිස්ඵල බෝධීන් වහන්සේ නමක් ද දැක ගන්නට ඇත. පෘතුගීසි ආක්‍රමණ හමුවේ දෙවිනුවර උපුල්වන් දෙවොලද සම්පූර්ණයෙන් පාහේ විනාශ වී ඇති අතර එහි වස්තුව කොල්ලකා ගිය නැව් මුහුදේදී විනාශ වී මුහුදු බත් වූ බවද කිය වේ. අදටත් සිංහාසන කෝවිල අසල මුහුදේ දක්නට ඇති නැංගුරම එකී නෞකාවන්ගේ ශේෂයක් ලෙසද දෙවිනුවර වැසියන් අතර විශ්වාසයක් පවතී.

ගල් ගෙයි හින්දු ආභාශය නොතිබීම නිසා එය උපුල්වන් දෙවොලක් බව සිතීම වඩාත් සාධාරණය. නමුත් කවර හේතුවක් මත මෙය අත් හැරියේද යන්න අදටත් ප්‍රශ්නාර්ථයකි.

පෘතුගීසි ආක්‍රමණ හමුවේ වල්බිහිව ගිය මෙ බිම යලි එලි පෙහෙලි වූයේ රාජ කුමාරිකාවක් නිසා බැව් කිවහොත් ඔබ පුදුමයට පත්වනවා නිසැක ය. ක්‍රි.ව 1906 වසරේ මෙරට සංචාරය කල බ්‍රිතාන්‍යයේ ලුවී කුමරිය මෙහි පැමිණ ඇත්තේ අහම්බෙනි. ඒ එවකට ආණ්ඩුකාරවරයා වූ හෙන්රි ආතර් බ්ලෙක් විසින් දෙවිනුවර ප්‍රදීපාගාරය නැරඹීමට යන අතරතුරය.

එහි දී මාතර උප දිසාපතිවරයා විසින් ඔවුන්ට ගල්ගෙය පිළිබඳ දන්වා ඇත. ඒ අනුව රජයේ අවධානය ඒ වෙත යොමුව ඇති අතර, සංරක්ෂණ කටයුතු එවකට පුරාවිද්‍යා කොමසාරිස් එච් සී පී බෙල් මහතාට පවරා ඇත. 1914 වසරේ දී පුරාවිද්‍යා කොමසාරිස් ඊ අයර්ටයින් මැතිතුමා රුහුණේ සිදුකල පුරාවිද්‍යා ගවේෂණය සඳහා මේ ස්ථානය ද පාදක වී තිබේ.

එහෙත් පරීක්ෂණ අතරතුර ඒ මහතා තිස්ස වැවේ ගිලී මිය යෑමෙන් වටිනා තොරතුරු රුසක් අනාවරණය වන්නට තිබූ මගක් අවහිර විය. 1947 වසරේ ඇති වූ වර්ෂාවෙන් ගල්ගෙයි කොටසක් කඩා වැටී ඇති අතර ඒ වසරේදීම මෙරට කීර්තිමත් පුරාවිද්‍යාඥයෙක් වූ සෙනරත් පරණවිතාණ මැතිතුමාගේ අධීක්ෂණයෙන් සංරක්ෂණ කටයුතු ආරම්භ වී ඇත.

මුල් කාලයේ දී විහාරස්ථානයේ ආරක්ෂාව යටතේ පැවති මෙය පසු කලෙක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ භාරයට යටත් කොට ඇත. ලංකාවේ වෙනත් පුරාවිද්‍යා බිම් මෙන් නොව මෙහි නඩත්තුව ප්‍රසංසනීය තත්වයක පවතී.

ඔබ දිනෙක ලංකාවේ දකුණු වෙරළ තීරය ඔස්සේ සංචාරය කරන්නේ නම් නොවරදවාම මේ ස්ථානයට පැමිණෙන්න. ඒ අවට පාරිසරික විව්ධත්වය සේම ඓතිහාසිකත්වය ඔබ මුසපත් කරලනු නොඅනුමාන ය.

**********

විශේෂ ස්තූතිය –

ගල්ගනේ රජමහා විහාරයේ විහාරාධිපති

හෙල්ලල විමල රතන හිමි

ඡායාරූප උපුටා ගැනීම – N.H සමරසිංහ

Related posts

මඩුවන්වෙල වලව්වේ විත්ති

අපේ වැව් වනසන ආක්රමණික ශාක

රට රටවල අරුම පුදුම අවමංගල චාරිත්‍ර