සටහන.. ජයසිංහ වීරසේකර
ලංකාවට ජාතික හැඳුනුම්පතක ප්‍රධානම අවශ්‍යතාව පැන නැගුණේ මෙරට සිටින පුද්ගලයන් ලියාපදිංචි කර ඔවුන් හඳුනා ගැනීමටයි. 1947 අගෝස්තු 15 වැනි දින ඉන්දියාවටද 1948 පෙබරවාරි 4 වැනිදා ලංකාවට නිදහස ලැබීමත් සමග දෙරට අතර ගමන් කිරීම නීත්‍යනුකූලව සිදුවිය. මේ අතර ඩී.එස්. සේනානායක හා ජවහල්ලාල් නේරු අතර මෙරට සිටින ඉන්දීය ජාතිකයන්ගෙන් රටවැසි භාවය පිළිබඳ ප්‍රශ්න ඇතිවිය. ඒ අනුව 1954 ඔක්තෝබර් අත්සන් කළ නේරු – කොතලාවල ගිවිසුම අනුවත් 1964 ඔක්තෝබර් අත්සන් කළ සිරිමා – ශාස්ත්‍රි ගිවිසුම අනුවත් මෙරට සිටි ඉන්දීය ජාතිකයන් පිරිසක් මෙරට රඳවා ගැනීමත්, කොටසක් ඉන්දියාවට යැවීමටත් තීරණය වූවේය. නමුත් මෙකී ගිවිසුම නිසියාකාරව ක්‍රියාත්මක නොවීය. ඒ අනුව මෙරට පුරවැසියන් හඳුනා ගැනීම සඳහා හැඳුනුම්පතක අවශ්‍යතාව පැන නැගුණි. එමගින් නීතිවිරෝධී ලෙස මෙරටට ගොඩබසින ඉන්දියානු සංක්‍රමිණිකයන් පාලනය කළ හැකි බවටද එවකට තිබූ රජයට පැහැදිලි විය.
හැඳුනුම්පතක අවශ්‍යතාව ආවද එය හිතුමතේට සෑදීමට නොහැකි විය. ඊට අදාළ ක්‍රමවේදයක අවශ්‍යතාව පැනනැගුණි. ඒ අනුව මැලේසියානු හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදය හැදෑරීමට තීරණය කළේය. ඒ අනුව 1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත 1968 ජුනි 22 වැනිදා දින ලංකාවට බලපැවැත්වීමට සම්මත කර ගැනුවෝය. අනතුරුව 1971 ඔක්තෝබර් පළමු වැනි දින පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පිහිටුවූවේය.
එය මෙසේ වෙද්දී හැඳුනුම්පතක් නිර්මාණය කිරීම පිළිබඳ ගැටලු පැනනැගුණේය. මුලින්ම සිතුවේ 1970 වසරේ තිබූ රියැදුරු බලපත්‍රයට අනුව පොතක ආකාරයකින් හැඳුනුම්පතක් සැකසීමටයි. නමුත් එය ජලයට ඔරොත්තු නොදෙන නිතර භාවිත කිරීමට නොහැකි නිසා ගැටලුවක් විය. ඒ අනුව ගැටලු නැති හැඳුනුම්පතක් නිර්මාණය කිරීමේ වගකීම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ප්‍රථම කොමසාරිස්ව සිටි ටී.බී. ඒකනායක විසින් එවකට රජයේ චිත්‍රපට ඒකකයේ අධ්‍යක්ෂව සිටි ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ වෙත පැවරීය. ඔහු යටතේ සිටි ගස්පේ රත්නායක විසින් ජාතික හැඳුනුම්පතක් නිර්මාණය කළේය. අදටත් පවතින්නේ, ලාංකිකයන් පාවිච්චි කරනුයේ ඔහු එදා කළ හැඳුනුම්පතයි.
ඒ අනුව 1972 වසරේ සැප්තැම්බර් 14 වැනි දින මුල්ම ජාතික හැඳුනුම්පත නිකුත් කළේය. එහි හිමිකාරීත්වය ලැබුවේ එවකට අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. ඇයගේ අංකය වන්නේ 166080010 V යන්නයි.