සටහන..අරුනඩෙල් විජේරත්න
මහනුවර කටුකැලේ සිට දිවෙම මාර්ගයේ ජෝර්ජ් ආර් ද සිල්වා මාවතේ (දොඩම්වල මාවතේ) ආරම්භක ස්ථානයේ සිට මීටර් 500 පමණ දුරකින් මෙම බිංගෙය හමුවේ. මෙය හල්ලොලුව උමඟ නමින් ඉංග්‍රීසි සමයේ හඳුන්වා දී ඇත. දුම්රිය මාරගයක හැරුණු විට මහා මාර්ගයක දක්නට ලැබුණු දිගම බිංගෙය වශයෙන් මීට වසර කීපයකට ඉහතදී එනම් 2008 වසරේ ඉදිකරන ලද නුවරඑළිය රම්බොඩ උමඟ ඉදිකිරීමට පෙර පැවතුණි.
මෙහි ඉතිහාසය දෙස බලන කළ ඕලන්ද (ලන්දේසි) පාලකයන් මහනුවර මාර්ගය කෙටි කර ගැනීමට මෙය භාවිතා කළ බවට ජනප්‍රවාදයක් පවතී. නමුත් පැහැදිලි සාධක හමුවන්නේ බ්‍රිතාන්‍යය සමයේදීය.
හල්ලොලුවේ සිට පැමිණෙන වාහන වලට (අශ්ව /ගොන් කරත්ත) මහනුවර කොළඹ මාර්ගය සම්බන්ද කරමින් ගමනාගමනය සඳහා කන්ද විද අඩි 537 පමණ දිගකින් උමඟ නිරමාණය කරන ලද බවට බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව කෘතියේ සඳහන් කරයි.මෙකල උඩරැටියන් තුළ තම රාජ්‍ය අත් කර ගැනීමට නම් සැපිරිය යුතු කරැණු 3ක පිළිබඳ මතයක් වූ බවද මෙහි කියැවේ. එනම්, දළඳා වහන්සේ අත්පත් කර ගැනීම, මහවැලිය හරහා පාලමක් ඉදි කිරීම සහ කන්ද විද උමඟක් සෑදීම යනු ඒවාය. තෙවන කරුන සම්පූර්ණ කර ගැනීමට අනිවත්ත බිංගෙයින් අවකාශය ලැබුණු බව පෙනීයන්නකි.
කන්ද උඩරට යටත් කර ගැනීමෙන් පසු එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකරයා මෙම උමඟ ඉදිකිරීමට මුල් වූ බවත් උඩරට යටත් කර වසර 8 කින් එනම් 1823 දී මෙහි වැඩ අවසන් කළ බවත් සඳහන් වේ. එවකට වූ සරළ තක්ෂණය මත මිනිස් ශ්‍රමය මත පිහිටා ඉදිකළ මේ උමඟ සඳහා විශාල මුදලක් වැය වූ බව ඉංග්‍රීසීන් සඳහන් කරයි. ඉංග්‍රීසීන් තම අභිමානය පෙන්වීමට මෙය නිර්මණය කළ බව පෙනෙන්නේ මින් ලද ප්‍රයෝජනය අල්ප වූ නිසාවෙනි.
මෙහි කන්දේ වන කලුගල් කොටස උමඟ මධ්‍යයේදී දක්නට හැකිවේ.දෙපස ඇති පස ශක්තිමත් බවින් අඩු නිසා ඉදිකර වසර 30 පසු කඩාවැටී වැසීගොස් ඇත. පසු කලෙක උමං විවර කොන්ක්‍රීට් යොදා සවිමත් කර ඇත. මේ හරහා ගමන් ගන්නෙකුට මෙහි අභ්‍යන්තරයේ නිතර ජලය වෑස්සෙන බව දැකිය හැකවේ.මෙම උමං විවර දෙක උසින් අඩු වන අතර ඇතුළත උසින් වැඩි බවක් පෙනේ.
මෙම උමඟ ඉදිකර ඇත්තේ පැරණි මහනුවර කුරුණැගල මාරගයේ ය. එකළ බිංගෙය හරහා දිවුණු මාර්ගය හල්ලොලුවේදී මහවැලිය (තොටුපළ) තරණය කර කටුගස්තොටට වැටී කුරුණෑගල දක්වා දිවුණු බව පෙනේ. පසු කලෙක මහනුවර සිට මහයියාව හරහා කටුගස්තොට මාර්ගය ඉදිකළ බැවින් මෙම මාර්ගය කුරුණෑගලට යාමට භාවිතා නොවුණි.හෙන්රි චාල්ස් මෙම උමඟ කුරුණෑගල උමඟ ලෙස හඳුන්වා දී ඇත.1850 දී මොහු විසින් ලංකාව සහ සිංහලයෝ කෘතිය රචිත සමය වන විටත් මෙය භාවිතයෙන් අතහැර තිබූ බව පෙනේ.
අනිවත්ත උමඟ පිහිටා ඇත්තේ කඳු බෑවුමක බැවින් එහි නැගෙනහිර පර්ශවයේදී රමණීය ලෙස හන්තාන කඳුවැටිය දැක ගැනීමට අවකාශය සැළසේ.
මූලාශ්‍ර
කඳු රට ප්‍රවේණිය
මහනුවර ලෝක උරුම නගරයේ ස්මාරක.