කිසියම් හෝ පුද්ගලයෙක් වැරදි ආකාරයෙන් මුදල් උපයා ඇත්නම්, තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.
ඒ අනුව චෝදනා කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, එම චෝදනා ඔප්පු කිරීමට කටයුතු කළ යුතු බවයි අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ.
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක හා වත්මන් අමාත්‍ය ආනන්ද විජේපාල එවක යහපාලන ආණ්ඩුවේ සිටින කාලයේදී ක්‍රියාත්මක කළ කමිටුවක් හරහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මාස ගණනාවක් රිමාන්ඩ් බන්ධනාගාරයේ තබා, නඩු 05 ක් පැවරීමට කටයුතු කළ බවද ඔහු ප්‍රකාශ කළා.
නමුත් ඔහු එම නඩු පහෙන්ම නිදොස් කොට නිදහස් වූ බවත්, සමහර නඩුවලට කිසිඳු සාක්ෂියක් නොතිබුණු බවත් ඔහු පෙන්වා දුන්නා.
බොරුවට, ජනතාව රැවටීමට නඩු නොදමා, කවුරුන් හෝ වරදක් සිදුකර ඇත්නම්, සාක්ෂි තිබෙනවා නම්, නීතිය හමුවට ගෙන එන ලෙසයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
.