නිලමේ තේරීමට වරම් ඇතත් ඡන්දය දීමට නුසුදුස්සෝ

සටහන..අරුනඩෙල් විජේරත්න

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩහිඳින බුදුන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා ලෝකවාසී බෞද්ධ ජනතාව වැඳුම් පිදුම් කරනු ලබන්නේ ජීවමාන බුදුන් සේ සලකමිනි. රාජ්‍යත්වයේ සංකේතය ලෙසින් සැලකූ හෙයින් මෙරට රජවරු සෑම අවස්ථාවකම දළදා වහන්සේගේ ආරක්ෂාව තහවුරු කිරීමට වගබලා ගත්හ. සිංහලයේ අවසන් රාජධානිය 1815 බිඳ වැටී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත්වීමත් සමඟ දළදා වහන්සේද ඔවුන්ගේ භාරයට පත්විය. සුදු ජාතීන්ට එරෙහිව 1818 දී හා 1848 දී දියත් කළ නිදහස් සටන් වලින් සිංහලයන් පරාජය වීමෙන් අනතුරුව 1853 දී දළදා වහන්සේගේ පැවිදි භාරකාරත්වය මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනමටද ගිහි භාරකාරත්වය ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාටද ලබා දීමට ඉංග්‍රීසි පාලකයෝ කටයුතු කළහ. රජ කාලයේ දියවඩන නිලමේවරයාගේ රාජකාරිය වූයේ රජුට පැන් සැපයීමය. එහෙත් මේ වගකීම අනුව මේ වනවිට දළදා වහන්සේගේ ගිහි භාරකරුවා තරම් භාරදුර තනතුරක් වන්නේ සුද්දාගේ කාලයෙන් පසුවය.

එතැන් පටන් දළදා වහන්සේගේ භාරකාරත්වය මල්වතු-අස්ගිරි මහ නායක හිමිවරු දෙනමට හා දියවඩන නිලමේවරයාට පැවරුණේ ඔවුන්ට දිවි ඇති තෙක් එම භාරකාරත්වය දැරිය හැකි වන සේය. ඉංග්‍රීසි පාලකයන් හඳුන්වා දුන් 1931 අංක 19 දරන විහාර දේවාලගම් පනත මඟින් මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ භාරකාරත්වය ඒ ආකාරයෙන්ම ආරක්ෂා වූ නමුත් දියවඩන නිලමේවරයාගේ එක් වතාවක ධුර කාලය වසර 10 කට සීමා කෙරුණි. එලෙස පත්ව අවුරුදු 70 තෙක් අවශ්‍ය නම් වසර 10 බැගින් වූ ධුර කාල කිහිපයක් ගත කිරීම සඳහාද ඒ ඔස්සේ අවකාශ සලසා දී තිබේ. ඒ අනුව 2015 පැවැති අවසන් නිලවරණයේදී ජයගත් ප්‍රදීප් නිලංග දෑල මහතාගේ දෙවැනි ධුර කාලය අදින් (07) අවසන් වීමට නියමිතය. අද සිට මාස තුනක් ඇතුළත නිලවරණයක් පවත්වා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ලෙස සුදුස්සකු තෝරා පත්කර ගැනීම බෞද්ධ කටයුතු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වගකීමකි.

ඒ අනුව ලබන දෙසැම්බර් මස 07 වැනි දිනට පෙර දියවඩන නිලමේ තෝරාපත් කර ගැනීමේ ඡන්දය පැවැත්විය යුතුය. එම කාලය තුළ දියවඩන නිලමේ ධුරයේ වැඩ බැලීම සඳහා සුදුස්සකු මල්වතු-අස්ගිරි උභය මහ විහාරයීය මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනමගේ නිර්දේශය මත පත් කිරීමේ බලය ඇත්තේ බෞද්ධ කටයුතු අධ්‍යක්ෂ ජනරාල්වරයාටය. ධුර කාලය නිමා වූ දිනයේ සිට මාසයක් ඇතුළත දියවඩන නිලමේ තෝරා පත්කර ගැනීමේ නිලවරණය පවත් වන දිනය බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශයට පත් කළ යුතුය. එම දිනය වත්මන් දියවඩන නිලමේවරයාගේ ධුර කාලය අවසන් වූ දිනයේ සිට මාසයකට නොඅඩු හා මාස තුනකට නොවැඩි දිනයක් විය යුතු බව විහාර දේවාලගම් ආඥා පනතේ දක්වා තිබේ. මේ අනුව ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය සඳහා 20 වැනි දියවඩන නිලමේවරයා තෝරාපත් කර ගැනීමේ නිලවරණය බොහෝ දුරට එළැඹෙන නොවැම්බර් මාසයේ මැද භාගයේදී පැවැත්වීමට ඉඩ ඇත. මෙවර දියවඩන නිලමේ නිලවරණය සඳහා වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මහනුවර කතරගම මහ දේවාලයේ හා පස්ගම ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ, මහනුවර නාථ දේවාලයේ සහ ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්.එස් බණ්ඩාරනායක යන මහත්වරු ඉදිරිපත් වන බව මේ වනවිටත් ප්‍රකාශ කර තිබේ. මෙයට අමතරව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ව්‍යාපාර මූල්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය තිලක් සුබසිංහ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියකු වන ගාමිණි කලුහෙන්දිවල යන මහත්වරුද ගිහි බෞද්ධයන්ගේ නායකයා වීමේ අපේක්ෂාවෙන් පසුවෙති.

ප්‍රදීප් නිලංග දෑල මහතා 2005 වසරේ දී ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයට පත්වූයේ 1985 සිට 2005 දක්වා එම ධුරය හෙබ වූ නෙරංජන් විජයරත්න මහතා පරාජය කරමිනි. එම අවස්ථාවේ පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ රොහාන් පරණගම මහතා වැඩ බලන දියවඩන නිලමේ ලෙස කටයුතු කළ අතර ඡන්ද විමසීමේදී නිලංග දෑල මහතා ඡන්ද 199ක් ලබා ගත්තේය. ඔහු සමඟ තරග කළ විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මොහාන් පානබොක්කේ මහතාට ඡන්ද 44ක් ද, හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න මහතාට ඡන්ද 42ක් ද හිමි විය. අනතුරුව 2015 දී පැවැත් වූ නිලවරණයේදී ද නිලංග දෑල මහතා ජයග්‍රහණය කළේය. ඒ ඡන්ද 205ක් ලබා ගනිමිනි. එහිදී මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමේ ගයාන් හීන්කෙන්ද මහතා ඡන්ද 53ක් ලබා ගනිත්දී නෙරංජන් විජයරත්න මහතාට ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද 31ක් පමණි. අවසන් වරට පැවැති දියවඩන නිලමේ තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේදී මහ සංඝරත්නයද සමඟ 305 දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් සපුරා තිබුණද ඡන්දය ලබාදී තිබුණේ 294 දෙනකු පමණි.

දියවඩන නිලමේ තෝරන්න ඡන්දය දීමට සුදුසුකම් ලබන තුන්සියයකට ආසන්න පිරිස කවුද යන්න විමසීම වැදගත්ය. මෙහිදී මල්වතු-අස්ගිරි උභය මහ විහාරීය මහ නාහිමි දෙනමට අමතරව ,ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත්වන විට උඩරට රාජ්‍යයට අයත් වූ පාලන ප්‍රදේශයේ පිහිටි රජමහා විහාරස්ථානවල විහාරාධිපතිවරු, භාරකාරවරු, විහාර දේවාලගම් ආඥා පනත යටතේ ගැසට් කර තිබෙන දේවාලයන්හි බස්නායක නිලමේවරුන්ට ඡන්දය ඇත. ඊට අමතරව එයට සුදුසකම් ලබන්නේ ඉංග්‍රීසි පාලනය යටතේ නිර්මාණය කෙරුණු ආණ්ඩුවේ ඒජන්තයන්ය. අද ඒ සමාන වගකීම් ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරුන්ටය.

එහෙත් හැම ප්‍රාදේශීය ලේකම්වරයකුටම ඡන්ද බලය නැත. විශේෂයෙන් එම තනතුර හොබවන්නේ කාන්තාවක නම් ඇයට දියවඩන නිලමේ තේරීමේ ඡන්දය භාවිත කළ නොහැකිය. එසේම ප්‍රාදේශීය ලේකම් අන්‍යාගමිකයකු නම් ඔහුටද ඡන්දය අහිමිය. එය විශේෂත්වයකි. පැරණි උඩරට රාජධානි බල ප්‍රදේශයට මහනුවර,මාතලේ, නුවරඑළිය, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව, වවුනියාවේ සිංහල පත්තුව, ත්‍රිකුණාමයේ සිංහල පත්තුව, අම්පාරේ සිංහල පත්තුව, මොනරාගල, බදුල්ල, කෑගල්ල, රත්නපුර, ගාල්ල හිනිදුම්පත්තුව, මාතර මොරවක්කෝරළේ අයත්ය. එම ප්‍රදේශ නියෝජනය කරන ප්‍රාදේශීය ලේකම්වරු 171 දෙනකු සිටියත් ඒ අතරින් 95 දෙනකුම කාන්තාවන් වීම නිසා ඡන්ද අයිතිය අහිමි වන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා පවසයි.ඡන්දයක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන්නේ වැඩි පිරිසකට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබීමෙනි. එසේ වුවත් පවතින තත්ත්වය තුළ ප්‍රාදේශීය ලේකම්වරු 171 දෙනකු අතරින් ඡන්ද අයිතිය මෙවර හිමි වන්නේ 76 දෙනකුට පමණි. දියවඩන නිලමේ ඡන්ද සටනේදී රුපියල් කෝටි ගණනින් මුදල් එහා මෙහා යන බව ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබෙන අවස්ථාවක මෙය ඉතාම බරපතළ තත්ත්වයකි.

දැනට පවතින දත්ත අනුව මෙවර දියවඩන නිලමේවරණයේදී 260-290ත් අතර පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය. දියවඩන නිලමේ තෝරා පත්කර ගැනීමේ නිලවරණයට අපේක්ෂයකු ලෙස ඉදිරිපත් වීමේ අවස්ථාව පනත මඟින් ලබා දී තිබෙන්නේ බෞද්ධයකුටය. එමෙන්ම ඔහු අවුරුදු 21ට වැඩි අවුරුදු 70 නොඉක්ම වූ පුද්ගලයකු විය යුතුය. මේ සම්බන්ධව හිටපු දියවඩන නිලමේවරයකු වන නෙරංජන් විජයරත්න මහතා මෙසේ පවසයි.

“ ඉංග්‍රීසීන් උඩරට යටත් කර ගන්නා අවස්ථාවේ දියවඩන නිලමේ ධුරයේ කටයුතු කළේ කපුවත්තේ නිලමේතුමයි. එතුමාගෙන් පසුව 1931 දක්වා දියවඩන නිලමේවරු පත් කරනු ලැබුවේ මණ්ඩලයක් මඟින්. අධිකාරම්වරු, දිසාවරු හා රටේ මහත්වරු ඒක නියෝජනය කළේ. ඡන්දයකින් දියවඩන නිලමේ තෝරා පත්කර ගැනීම ආරම්භ වුණේ 1931 විහාර දේවාලගම් ආඥා පනත අනුවයි. කපුවත්තේ දියවඩන නිලමේතුමා 1924 දී මිය යෑමෙන් පසු ලොකුබණ්ඩා දෙහිගම නිලමේතුමා 1925 සිට 1927 දක්වා එම ධුරයේ කටයුතු කළා. එයාගෙන් පස්සේ කුඩා මොල්ලිගොඩ දියවඩන නිලමේ 1927 සිට 1928 දක්වා වසරක කාලයකදී මිය යෑම නිසා කුඩා දෙහිගම නිලමේතුමා 1828 එම ධුරයට පැමිණියා. ඔහු 1835 දී මිය ගියා. ඊට පස්සේ මුල්ලේගම අධිකාරම්තුමා තමයි 1835 සිට 1842 දක්වා දියවඩන නිලමේ ධුරය දැරුවේ. දුල්ලෑවේ අධිකාරම් 1842 දී දියවඩන නිලමේ ධුරයට පත්ව කටයුතු කරමින් සිටියදී 1847 දී ඉංග්‍රීසින් මහ නායක හිමිවරුන්ට හා දියවඩන නිලමේතුමන්ට දළදා වහන්සේ නැවත බාර දුන්නා. ඒත් එක්කම තමයි 1848 නිදහස් සටන ආරම්භ වුණේ. ඒ වෙලාවේ දියවඩන නිලමේවරයාත් ඒකට සහාය දුන්න නිසා ඔහුගේ දේපොළ රාජසන්තක කරන්න ඉංග්‍රීසීන් පියවර ගත්තා. එයාට අයිතිව තිබූ දූල්ලෑව වලව්ව තමයි අද ක්වීන්ස් හෝටලය බවට පත්ව තිබෙන්නේ.

නැවත තමන් යටතට ලබාගත් දළදාව ඉංග්‍රීසීන් යළි මහ නාහිමිවරුන්ගේ සහ දියවඩන නිලමේගේ භාරකාරත්වයට නීත්‍යනුකූලව පත් කළේ 1853 දී යි. ඒ වෙලාවේ ලොකු බණ්ඩාර දෙහිගම නිලමේතුමා තමයි දියවඩන නිලමේ ධුරය හෙබ වූයේ. මේ කාලයේ දියවඩන නිලමේගේ ධුර කාලය නිමා වන්නේ මරණයෙන් පස්සෙයි. ඉංග්‍රීසීන් 1931 දී විහාර දේවාලගම් පනත වෙනස් කරමින් දියවඩන නිලමේගේ එක් අවස්ථාවක ධුර කාලය අවුරුදු 10 කට සීමා කළා. 1916 දී ඉඳන් දියවඩන නිලමේ ධුරයේ කටයුතු කරමින් සිටි පී.බී. නුගවෙල නිලමේතුමා කිව්වා මම පත් වුණේ පනත වෙනස් කරන්න කලින් නිසා මම ජීවිතාන්තය දක්වා ඉන්නවා කියලා. මම කරඬුවේ යතුර දෙන්නේ නැහැ පුළුවන් නම් පිස්කල් දාලා කඩපන් කියලා සුද්දන්ට අභියෝග කළා. එතුමා 1937 දී මිය ගියාට පස්සේ තමයි පළමු වතාවට මහ භාරකාර දෙපාර්තමේන්තුව යටතේ දියවඩන නිලමේ තෝරන්න නිලවරණයක් පැවැත් වුණේ.

එහිදී ටී.බී. රත්වත්තේ නිලමේතුමා දියවඩන නිලමේ ලෙස පත් වුණා. ඒ අනුව තමයි මේ ඡන්ද තියලා දියවඩන නිලමේ තෝරා පත්කර ගන්නේ.“

විහාර දේවාලගම් ආඥා පනත යටතේ ගැසට් කරනු ලැබ තිබෙන දේවාල සංඛ්‍යාව 32කි. උඩරට රාජධානි සීමාවෙන් පිටත තිබෙන දෙවුන්දර විෂ්ණු දේවාලය හැරුණු විට දේවාල 31ක් සඳහා දියවඩන නිලමේ නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිය. මේ සම්බන්ධව සමස්ත ලංකා බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ සභාපති, මහනුවර පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර හේරත් මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

“මෙවර දියවඩන නිලමේ නිලවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබෙන දමින්ද බණ්ඩාර උඩුරාවණ හා ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක නිලමේවරු දෙදෙනා දේවාල දෙකක බස්නායක නිලමේවරු ලෙස කටයුතු කරනවා. මෙහිදී මේ දෙදෙනාටම එක් ඡන්දය බැගින් පමණක් ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබෙන නිසා මෙවර දියවඩන නිලමේ තේරීමේදී දේවාල 31න් ඡන්ද හිමිකම ලැබෙන්නේ 29 දෙනකුට පමණයි. හඟුරන්කෙත විෂ්ණු දේවාලය,විල්බාව පත්තිනි දේවාලය,රත්නපුර හම්මඩුව කුඩා කතරගම දේවාලය සහ උක්ගල්ල අලුත්නුවර කතරගම දේවාලය සඳහා බස්නායක නිලමේවරු තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම දියවඩන නිලමේ නිලවරණයට කලින් පවත්වන නිසා ඒවාට ඉදිරියේදී පත්වන බස්නායක නිලමේවරුන්ට තමයි ඡන්ද අයිතිය ලැබෙන්නේ.“

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා පිළිගනු ලබන්නේ ගිහි බෞද්ධයන්ගේ නායකයා ලෙසිනි. දළදා වහන්සේගේ ගිහි භාරකරු වන්නේද ඔහුය. ගන්ධ කුටියේ තැන්පත් කර තිබෙන කරඬු හතක් තුළ වැඩ හිඳින දළදා වහන්සේ ඉන් පිටතට වැඩම කරවීම සඳහා කරඩු තුනක් විවෘත කළ යුත්තේ යතුරු වලිනි. මෙම යතුරුවලින් දෙකක් මල්වතු-අස්ගිරි උභය මහ විහාරීය මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම භාරයේද අනෙක් යතුර දියවඩන නිලමේ භාරයේද පවතී.

මේ තිදෙනාගේ එකඟතාව නොමැතිව දළදා වහන්සේ ඉන් පිටතට වැඩම කළ නොහැකිය. දළදා වහන්සේගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මහ නාහිමිවරු දෙනමට හා දියවඩන නිලමේ වෙත පැවරී තිබෙන කාර්යභාරය එමඟින් තේරුම් ගැනීමට පුළුවන.

ශ්‍රී දළදා සමිඳුන් උදෙසා වාර්ෂිකව පවත් වන සතර මහ මංගල්‍යයන් පෞරාණික චාරිත්‍ර ගරු කරමින් පැවැත්වීම, දළදා මාලිගාවේ රාජකාරි නිලකරුවන් පත්කර ඔවුන්ගේ කටයුතු මෙහෙයවීම,දළදා මාලිගාව සතු චංචල හා නිශ්චල දේපොළ ආරක්ෂා කිරීම ඇතුළු දියවඩන නිලමේවරයා වෙත පැවරෙන රාජකාරි බොහෝමයකි. ඒවා වගකීමෙන් යුතුව ඉෂ්ට සිද්ධ කිරීම සඳහා සුදුස්සකු තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම මෙවර බොහෝ උණුසුම් වන ලකුණු දැන් සිටම පෙනෙන්නට තිබේ…..

Related posts

මඩුවන්වෙල වලව්වේ විත්ති

අපේ වැව් වනසන ආක්රමණික ශාක

රට රටවල අරුම පුදුම අවමංගල චාරිත්‍ර