තිලංග මාතාවට පින් පිණිස සෑදූ ‘බුද්ධ මාතා’ චිත්‍රපටය පූජෝපහාර සිනමා ව්‍යාපාරයේ සටකපට මිථ්‍යාචාරයකි..!

තිලංග මාතාවට පින් පිණිස සෑදූ ‘බුද්ධ මාතා’ චිත්‍රපටය පූජෝපහාර සිනමා ව්‍යාපාරයේ සටකපට මිථ්‍යාචාරයකි..!

ලංකාවේ පළමු සහ එකම සම්මානිත මහාචාර්ය සිනමාකරුවා ලෙස ප්‍රචලිතව සිටිනුයේ සුනිල් ආරියරත්නය. ඔහුගේ බුද්ධාලම්බන චිත්‍රපට ව්‍යාපාරයේ තවත් ජනප්‍රිය ව්‍යාපෘතියක් වෙළෙඳපලට මුදා හැරිණි. එහි නම ‘බුද්ධ මාතා’ ය. මහාචාර්ය සුනිල් ආරියරත්නගේ සිවිල් බලයට බය-පක්ෂපාතී ලියන්නන්ගේ ප්‍රශස්ති ප්‍රචාරක වර්ණනාවලින් පත්තර පිටු පිරිණි. මෙම චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට පැමිණ සැලකිය යුතු කාලයක් ගත වන තුරු අපගේ මෙම විචාරය පළ නොකර සිටියේ සිනමාවේ කලාව සහ විචාරය මෙන්ම සිනමා කර්මාන්තය සහ එහි වානිජමය අභිප්‍රායයන්ද තිබෙන බව අප සිතන නිසාය. දැන් අප වෑයම් කරන්නේ මේ මහා සම්මානිත සිවිල් චරිතය තුළ සිටින සිනමාකරුවාව වෙන් කොට පිටතට ගන්නටය. සහ එසේ පිටතට ගෙන ඔහු නිරත මේ ‘බුද්ධ මාතා’ ව්‍යාපෘතිය සිනමාව නොවේ යැයි ශ්‍රද්ධාවෙන් පහදන්නටය.

මිථ්‍යාචාරයක් කියන්නේ ඇයි?

චිත්‍රපටය යනු කුමක්ද? එය මිථ්‍යාව මතින් නැගෙන සත්‍යගරුක ප්‍රකාශනයකි. ප්‍රබන්ධකරණයේ ඒකායන අරමුණ සත්‍යය පිළිබඳ අවබෝධය මිස ඊට පටහැනි වූ අද්භූතයෙහි ජනතාව මුලාකිරීම නොවේ. පුද්ගලයකුගේ හෝ වස්තුවක හෝ අනිසි පැවැත්ම වෙනුවෙන් කෙරෙන වැරදි හැසිරීම යනු මිථ්‍යාචාරයයි.

‘බුද්ධ මාතා’ චිත්‍රපටයට වස්තු විෂය වන ‘මහා ප්‍රජාපතී ගෝතමී’ යනු සත්‍ය බුද්ධ මාතාව නොවේ. ඇය සිදුහත්ගේ පුංචි අම්මාය. ‘බුද්ධ මාතා’ චිත්‍රපටය වෙනුවෙන් මුද්‍රනය කොට ඇති සමරු ප්‍රකාශනවල දක්වා ඇති ගාථාවලද දැක්වෙන්නේ ‘මාතුච්ඡා බුද්ධ සෙට්ඨස්ස’ යනුවෙනි. නමුත් සංවේදී උපාසකම්මලා සිද්ධාර්ථගේ සුුළු මව දැක වැඳපුදා ගනු පිණිස උනන්දු වන්නේ නැත. සිදුහත්ගේ පුංචි අම්මා දැක ගනු පිණිස හුදී ජනයා ටිකට් ගන්නේ නැත.  

කෙසේ වෙතත් සිද්ධාර්ථගේ මව් මියගිය හෙයින් ඇගේ මාතෘත්වය අවලංගු වන්නේ නැත. මව් මිය ගිය පසු මවක මෙන් කුමරා රැකබලාගත් ස්ත්‍රිය මව් ලෙස හැඳින්වීම සත්‍ය මව නොතැකීමක් විය යුතු නැත. සත්‍ය බුද්ධ මාතාව මිය ගිය පසු සුළු මව් ‘බුද්ධ මාතාව’ ලෙස හැඳින්වීම සාමාන්‍යයකි. නමුත් එය වරදවා හැසිරවීමක් විය යුතු නැත. සුළු මව සැබෑ මව් ලෙස හැඟන්නට ඉඩහැරීම වරදකි. මෙම පූජෝපහාර චිත්‍රපටය තුළින් බුද්ධ මාතාව වරදවා හැසිරවීමක් සිදුවන්නේයැයි අප සිතන්නේ සත්‍ය මව් වෙනුවට සුළු මව ‘බුද්ධ මාතා’ ලෙස වඩාත් ඉස්මතු කොට අවධාරණයෙන් තහවුරු කරමින් පොදු ජනතාව අතර ප්‍රචලිත කරන නිසාය. ජනතාව ‘බුද්ධ මාතා’ චිත්‍රපටය නරඹන්නට යොමු වනුයේ පළමුව මෙහි නාමයට මුලාවෙමිනි.

මොහු තුළ සිනමාකරුවෙක් සොයාගත නොහැක..

චිත්‍රපටයේ නාමාවලියේ සිට කුඩා පත්‍රිකා දක්වා හැම තැනකම සිනමාකරුවා තම තානාන්තර යොදා අප බය කරන්නේය. එම තනතුරුවල රැස් දහරාවල බලපරාක්‍රමය නිසා මෙම සම්මානිත බහු ක්‍රියාකාරිකයා තුළ අප සොයන සිනමාකරුවා වෙන් කරගැනීම පහසු නැත. තම ආයතනික තනතුර යොදමින් ඔහු අප හමුවෙහි තැබූ චිත්‍රපටවල වානිජමය අගයක් මිස එහි සිනමාත්මක හැඩතල අල්පය. එබැවින්ද මොහු තුළ සිනමාකරුවෙක් සොයාගත නොහැක.

චිත්‍රපටි කර්මාන්තය ආරක්ෂා කිරීම, සිනමා ශාලා අලුත්වැඩියා කිරීම, රැකියා සැපයීම, ජනතාව සිනමාහලට ගෙන්වීම, ආදායම් වාර්තා තැබීම, චිත්‍රපට ශාලාවලට යා නොහැකි ස්වාමීන් වහන්සේලාට චිත්‍රපටය පෙන්වා ප්‍රචාරක ප්‍රකාශ ලබාගැනීම, ඉන්දීය නිළියන් ආනයනය සහ මාධ්‍ය සංදර්ශන සංවිධානය කිරීම වැනි අලෙවිකරණ කාරණා සම්බන්ධව මෙම නිපැයුම අතිසාර්ථක විය හැකිය. නමුත් අප විමසන්නේ ‘බුද්ධ මාතා’ කතා වස්තුව ප්‍රබල සිනමා රූපයෙහි තැබෙන ආකාරය සහ එය සිනමාවද, නැද්ද යන්න පමණකි. එබඳු ගැටළුවක් මතුවන්නේද සිනමා කෘතියක් විඳින අයට පමණි. සාදුකාර දෙමින් බුද්ධ මාතාව නමදින ජනතාවට එය ගැටළුවක් නොවේ. ආදායම් වාර්තා ගැන සිතන වෙළෙඳ මහතුන්ට මෙම ලියැවිල්ල අදාල නොවේ.

ධර්මෝන්මාද දූපතේ බුද්ධාලම්බන ප්‍රීති ප්‍රමෝද සිනමාව යනු මෙයයි

ආදායම් වාර්තා තැබූ චිත්‍රපට තනා ඉතිහාස ගතවී සිටින මේ සිනමා ක්‍රියාකාරිකයාගේ 26 වැනි චිත්‍රපට ව්‍යාපෘතිය මෙයයි. සිද්ධාර්ථගේ පුංචි අම්මාට පෙර ඔහු ‘යශෝධරා දේවිය’, ‘උප්පලවණ්නා තෙරණිය’, ‘පත්තිිනි දේවිය’, ‘කදිර දිව්‍යරාජයා’, ‘ජේසුස් වහන්සේ’ වැනි ශ්‍රද්ධාවත් චරිත චිත්‍රපට ගත කොට අපේ ධර්මෝන්මාදය උත්සන්න කළේය. ඉන් අපගේ අවිචාරවත් උමතුව තවත් දැඩි විය. අපි සාදුකාර දුනිමු.

භක්තියෙන් උජ්වලිතව, ශ්‍රද්ධාවෙන් අන්ධ වී සිටින්නකු සිනමාශාලාවක අන්ධකාරය තුළ පහසුවෙන් මෝහනයට පත් වෙයි. ‘බුද්ධ මාතා’ ව්‍යාපෘතියේ ඉලක්ක ගත නරඹන්නා මේ ධර්මෝන්මාද දූපතේ බුද්ධාලම්බන ප්‍රීතිය සොයන්නාය. එම සැනසීම හඹා යන අසරණ, නොදැනුවත්, පීඩිත පොදු ජනයාය. සිනමා ප්‍රේක්ෂකයා යනු එම කුලකය තුළ ඉතාම සුළු පිරිසකි. 70/80 දශකවල සුනිල් ආරියරත්න තම විශ්වවිද්‍යාල තනතුර පෙරට නොදමා නිදහසේ සැදූ ‘සරුංගලේ’, ‘පොඩි මල්ලී’, ‘සිරිබෝ අයියා’, ‘වජිරා’, වැනි චිත්‍රපට රසවින්දේ එම සුළු පිරිසයි. ඒ බව එම සුළු කුලකය තුළ තවමත් සිටින අපට අමතක නැත. උසස් චිත්‍රපට රසවින්දනයට කැමති සුළුතර ප්‍රේක්ෂකයාට වඩා පහන් සංවේදිත බැතිබර හුදී ජනයාට අලෙවි කළ හැකි ටිකට් සංඛ්‍යාව වැඩි බව ශූර ව්‍යවසායකයකු වන තිලංග දනී. සිය මාතාවට පින් පිණිස ලක්ෂ දහසක් වුවත් වියදම් කරන්නට මැලි නොවන දැහැමි පුත්‍රයන්ගේ අහිංසක සිහින සඵල කරනු පිණිස උතුම් වූ සිනමා මාධ්‍යය යොදා ගන්නා හැටි සුනිලූන් මැනවින් දනී. සාදුකාර මැද මේ දෙදෙනාම උපායශීලීය.  

‘බුද්ධ මාතා’ චිත්‍රපටය තම මාතාව වෙනුවෙන් කළ පූජෝපහාරයක් බව තිලංග ප්‍රසිද්ධියේම කියා ඇත. අන් විවිධ ව්‍යාපාරවල නිරතව සිටින ව්‍යවසායකයන් චිත්‍රපට නිෂ්පාදනය කෙරෙහිද යොමු වන්නේ ‘තම මෑණියන්ට පින් පිණිස’ වැනි සංවේදී හේතු කාරණා පෙරට තබමිනි. තම මාතාව වෙනුවෙන් ‘බුද්ධ මාතා’ සාදන ආදර්ශවත් පුත්‍රයකු සිය පුන්‍යායෝජනය ගැන ප්‍රසිද්ධියේ කරන ප්‍රකාශ විවිධාකාර ව්‍යංගාර්ථ පළ කරයි. ‘බුද්ධ මාතා’ යනු චිත්‍රපටයක්ම නොවේ යැයි සිතෙන්නට මෙම ප්‍රකාශ හේතුවකි.

ආයෝජකයා තම සිනමා පිංකම ගැන කියන්නේ මෙවැන්නකි

“ශ්‍රී ලාංකේය ජන සමාජයේ විශිෂ්ට කාන්තා චරිතයක් ලෙස ස්වකීය දරු දැරියනට සේම සියලූ ලක් දරු දරුවනට උත්තරීතර මාතෘ සෙනෙහස පෑ මෙරට ඉතිහාසයෙහි මාතෘත්වය පිළිබඳ පරමාදර්ශයක් වන් බෞද්ධ මහෝපාසිකා, මිලිනා සුමතිපාල මාතාවට ගෞතම ‘බුද්ධ මාතා’ සිනමා නිර්මාණය පූජෝපහාරයක් වේවා”.

තිලංගගේ පියා මීට වසර 46 කට ඉහතදී තුන්වන ලෝකයේ හොඳම චිත්‍රපටය නිෂ්පාදනය කළේය. එය තනන්නට ආචාර්ය ලෙස්ටර්  ජේම්ස් පීරිස් වෙනුවෙන් මුදල් යොදවද්දී පුත්‍රයා මෙන් සිය අරමුණ ප්‍රසිද්ධියේ කීවේ නැත. ඉන් හැඟෙනුයේ යූ. ඩබ්ලිව්. සුමතිපාලගේ අරමුණ වන්නට ඇත්තේ හොඳ සිනමාකරුවකු ලවා හොඳ චිත්‍රපටයක් තැනීමයි. විශිෂ්ටතම අධ්‍යක්ෂවරයා ඇතුළු ජනාධිපති සම්මාන 8ක් සහ හොඳම තිරරචනය ඇතුළු ඕ.සී.අයි.සී සම්මාන 5ක් දිනූ ‘අහසින් පොළොවට’ සර්වකාලීන නිර්මාණයක් ලෙස අදටත් අප වින්දනය කරන්නේ එම උතුම් ව්‍යාපාරිකයාට පින් දෙමිනි. සිනමාවේ සැබෑ පූජෝපහාරය එකල එසේ විය.

තිලංග, පියාගෙන් ඉගෙන ගන්න..

සිනමාවෙන් පින් කරන්නේ කෙසේද යන්න මේ දැහැමි පුත්‍රයා ඉගෙන ගතයුත්තේ අවස්ථානුකූල චිත්‍රපටිකරුවන්ගෙන් නොව තම පියාගෙනි. බුදුන්ගේ සුළු මව් හරහා තම මව් කෙරෙහි වන අප්‍රමාණ බැති සෙනෙහස ප්‍රකට කරන පුත්‍රයකු දෙස අප සානුකම්පිතව බැලිය යුතුය. නමුත් එම පුන්‍යකර්ම සඳහා අතිඋතුම් වූ සිනමා මාධ්‍යය යොදාගෙන ඇති ආකාරයද විමසිය යුතුය. සිනමා මාධ්‍යය එවන් වූ පුද්ගලික දානමය පුන්‍යකර්ම සඳහාද භාවිතයට ගත හැකිදැයි පර්යේෂණ කරන මෙම සම්මානිත මහාචාර්යතුමාගේ ව්‍යායාමය සිනමා කෘතියක් නොව එක්තරා විධියක වාර්තා චිත්‍රපටියකි. එසේත් නැතහොත් මෙය භික්ෂු‚ ශාසනය හා ගෝතමී මහා තෙරණිය පිළිබඳ කළ අර්ධ වෘත්තාන්ත චිත්‍රපටියකි. මෙය පාසල් හා පිරිවෙන්වලට අලෙවි කළ හැකි අගනා ව්‍යාපෘතියකි.

ඉන්දියාවෙන් ආනයනය කළ හිරිමල් නිළියන් සමග සැබෑ මෙහෙණින් වහන්සේලා..

ඉන්දියාවෙන් ආනයනය කළ හිරිමල් නිළියන් සහ මෙරට නවක හා ප්‍රවීන නිළියන්ද සමග සැබෑ මෙහෙණින් වහන්සේලාද ‘බුද්ධ මාතා’ චිත්‍රපටයෙහි රඟපාති. කසාවතින් සැරසුණු මෙහෙණින් වහන්සේලා විශාල සංඛ්‍යාවක් රූපයට ගැනීමේ විචිත්‍රත්වය හැරෙන්නට එම දෘෂ්‍යමානය පිටුපස ඇති සිනමා රූපය සොයන්නට අනුබල දෙන පෙළැඹුමක් මෙහි නැත. රූපලාවණ්‍ය සත්කාර මගින් පැහැපත් වූ ශරීර සමග මාලා ගන්ධ විලේපන අත්හල සැබෑ භික්ෂූනීන්ද මෙහි මොහොතකට නිළියන් බවට පත් කොට ඇත. ඒ අතර සිනමාකරුවා තම චිත්‍රපටයට භික්ෂූනීන් වහන්සේලා ගැන ලියන ගීතයේ අර්ථය මෙබඳුය. “ඝර බන්ධන බිඳ අභිනික්මන් කරණ. මාලා ගන්ධ විලේපන අත්හල.. පිටුපා උතුරන නව යෞවනයට විකසිත වන ඉඳුරන් දමනය කර මහා ස්ත්‍රී.. භික්ෂූනී..”

මෙවන් මහා ස්ත්‍රීන් ආනයනික නිළියන් සමග වානිජමය චිත්‍රපටයක චරිත බවට පත් කොට රූප ගත කිරීම වුවද එක්තරා ආකාරයකට ඒ දමනය කළ ඉඳුරන් විකසිත කරන්නකි. මතුපිට චරිත විස්තරකරණයක් හා කතන්දර කීමක් හැරෙන්නට ප්‍රබල චරිත ගොඩනැවීමක් මෙහි නැත. ප්‍රදර්ශනකාමී ටුවරිස්ට් ගයිඩ්වරයකුට නොතේරෙන ප්‍රබල චරිත ඝට්ටනයක් එම පුරාණෝක්තිය පිටුපස ඇත.

කෙතරම් ගැඹූරු චරිත කියැවීමකට යා හැකිව තිබිණිද?

මහාමායා සහ ගෝතමී යන සොහොයරියන් දෙදෙනාම සරණ කොට ගන්නා සුද්ධෝදන රජු යන චරිත ත්‍රිත්වය අතර සබඳතාව කෙතරම් ගැඹූරු චරිත ගොඩනැවුමකට ඉඟියක්ද? තම දරුවා බිහි කළ පසුව දින හතකින් මියයන බව මහාමායා බිසව දැන සිටියා නම් එයම කෙතරම් ගැඹූරු චරිත කියැවීමකට යා හැකිව තිබිණිද? මිය යන බව දන්නා මව් සහ ඇගේ සොහොයුරිය අතර සම්බන්ධය කෙතරම් ප්‍රබල පරිකල්පන පෙළැඹුමක්ද?

සිනමාකරුවා තමා පර්යේෂණය කොට සොයාගත් සියලූ මූලාශ්‍ර තම තිරරචනයට බහාලයි. සිනමා කාර්යයට වඩා ඒ සඳහා වූ පර්යේෂණය විශාලය. ඒ බව පෙන්වීමෙන් පමණක් සිනමාකරුවා සෑහෙයි. පර්යේෂකයා තමා ඇසුරු කළ දිගු පොත් ලැයිස්තුව පෙන්වා ජනතාව බය කරනුයේ එකී පර්යේෂණය සිනමාව බවට පත් නොවන බව දන්නා නිසාද විය හැකිය.

වඩාත්ම දුබල තිර රචනයයි

‘බුද්ධ මාතා’ චිත්‍රපටයේ වඩාත්ම දුබල අංශය තිර රචනයයි. මෙහි එන ප්‍රජාපතී ගෝතමියගේ කතා වස්තුව ප්‍රබල සිනමාත්මක තිර රචනා කිහිපයකටම අනුබල විය හැකි පුරා කතා සහ අතුරු කථා රැසකින් යුතුය. තවද භික්ෂූණී ශාසනය පිහිටුවීම පිළිබඳ විස්තරාවලියද මෙම අර්ථ වෘත්තාන්ත චිත්‍රපට තිර රචනය තුළ වර්තානුසාරීව කථනය වෙයි. අප අසා ඇති පැරණි පුරාණ කතාව එලෙසම මෙහි කියයි. ප්‍රබන්ධ කරනු ලැබූ කතාවෙන් ප්‍රේක්ෂකයා කතාවක් බන්ධනය කරගනු ලැබීම ඊට වඩා වෙනස්ය. පර්යේෂණය හා නිර්මාණය දෙවිදියක දෙකක්යැයි අවධාරණය වන්නේ ඔතැනිනි. ‘බුද්ධ මාතා’ වෙනුවෙන් සිනමාකරුවා කියැවූ පොත් නාමාවලිය ප්‍රදර්ශනය කරන අරමුණ දැන් පැහැදිලිය. මෙය චිත්‍රපටයක් සේ දිස්වන වාර්තාකරණයකි.

සිනමා කෘතියක් නොවී හුදු වාර්තාකරණයක්..

නිර්මාණකණය සඳහා මෙන්ම එම නිර්මාණය විඳීම සඳහාද නිර්මාණකරුවා සහ රසිකයා යන දෙදෙනා තුළම ප්‍රතිභා ශක්තියක් තිබිය යුතුය. මෙම චිත්‍රපටයෙහි සිනමාකරුවා නිරත වන කථන මාර්ගය විසින් රූපන මාර්ගය අවහිර කරයි. එබැවින් ප්‍රේක්ෂකයා යනු හුදු කතන්දර අසන්නෙක් ලෙස නිද්‍රාගත වෙයි. ‘බුද්ධ මාතා’ යනු සිනමා කෘතියක් නොවී හුදු වාර්තාකරණයක ස්වරූප ගන්නේ එබැවිනි.

මෙතැනදී සිනමාකරුවා කරනුයේ ප්‍රජාපතී ගෝතමී චරිතය පිළිබඳ ඉපැරණි පුරාතණෝක්ති ප්‍රබන්ධයම නූතන රූප මාධ්‍යයට ප්‍රතිප්‍රබන්ධ කිරීමකි. මෙහිදී සිදු වන්නේ කල්පිතය තව තවත් මායාව තුළ මායාකාරී වීමයි. සුනිල් ආරියරත්නගේ වගකීම විය යුත්තේ එම අතීත මායා පුරාකතාවෙන් සත්‍යයක් මවාපෑමයි. චිත්‍රපටය තුළ සත්‍ය ලෝකය හෝ කල්පිත ප්‍රබන්ධ ලෝකය පසුබිම් කර ගත්තද සිනමාකරුවා තම මායා රූප හරඹය තූල සිදු කරන්නේ මායාව පෑමකි. සුනිල් ආරියරත්න සිතින් මවා ගත යුතු පරිකල්පන වගකීම පැහැර හැර ඉපැරණි ග්‍රන්ථාරූඪ ප්‍රබන්ධ වාර්තාකරණ මත යැපෙයි. පූජෝපහාරයෙන් ඔබ්බට චිත්‍රපටයක් නොතැනෙන්නේ මෙබැවිනි. මෙය මිථ්‍යාචාරයකැයි අප සිතන්නේ එබැවිනි.

පොත් සම්භාරය පෙන්වා අපව බය කරන්නේ ඇයි?   

මෙම සිනමාකරුවා සමකාලීන ව්‍යවහාරයෙන් ඈත් වී පුරාතන යෙදුම් භාවිතයට යොමු වෙයි. මෙසේ පුරාප්‍රයෝග මත අසීමිතව යැපෙන්නේ ඇයි? සරලව කිවහොත් සුනිල් ආරිරත්න ඉතිහාස පොත් පෙරලන්නට මෙතරම් ඇබ්බැහිකමක් දක්වන්නේ ඇයි? එම පොත් සම්භාරය පෙන්වා අපව බය කරන්නේ ඇයි?

සිනමාවක් නොව ලාභාපේක්ෂිත පින්කමකි..

පුරාතණෝක්තියෙන් සිනමා කෘතිය වෙන් කොට හඳුනාගැනීමේදී ‘බුද්ධ මාතා’ චිත්‍රපටය මිත්‍යාචාරයක් වන තරම වැටහෙයි. නිර්මාණකරුවන් ඇතැම් විට පුරාතණෝක්ති භාවිතයට ගන්නේ තම පාණ්ඩිත්‍යය ප්‍රදර්ශනය කිරීමට මෙන්ම ස්වීයත්වය පිළිබඳ නොරිස්සුම් භීතිකාවකින් පසුවන නිසා විය හැකිය. ‘යශෝධරා’ චිත්‍රපටය වෙනුවෙන් කරුණු සොයද්දී හමුවූ ‘ප්‍රජාපතී ගෝතමී’ චරිතය ගැන චිත්‍රපටයක් සාදන්නට මෙම සිනමාකරුවා සිහිනෙන්වත් නොසිතූ බව කියයි. අනෙකකුගේ සිහිනය සැබෑ කරනු පිණිස ‘බුද්ධ මාතා’ සාදන ආකාරයෙන්ම මෙම ස්වාත්ම විකාර ස්වරූපය පැහැදිලි වෙයි. මෙහි ඇත්තේ සිනමාවක් නොව පින්කමකි. ලාභාපේක්ෂිත පින්කමකි. නිමිත්ත බුද්ධ මාතාව වුවද එය සේවනයට මුදල් ගෙවිය යුතු වෙයි. මෙම චිත්‍රපටය අප මුදල් ගෙවා සහභාගී වූ පින්කමකි.

සිනමාකරුවා ඉතිහාස ප්‍රබන්ධ කතාවෙන් ඔබ්බට ගොස් සිය පරිකල්පනය යොදවන්නේ නැත. ඉතිහාස ඇසුර තිර රචනයකට පෙරළී නැත. ප්‍රජාපතී ගෝතමී චරිතය පිළිබඳව පැරණි පොත් 70 ක් පමණ කියවූ බව සිනමාකරුවා කියා ඇත. එම පොත් සම්භාරයෙන් බුද්ධ මාතාව ගැන උගත් මූලාශ්‍ර ගොන්නම තම තිරරචනයෙහි තබන්නට ඔහු පෙළැඹී සිටී. මෙම අශික්ෂණය කොතෙක් බරපතළද යත් මෙම නිර්මාණ කාර්යය සඳහා තමා කියැවූ එම පොත් සම්භාරයේ ලැයිස්තුව ‘බුද්ධ මාතා’ චිත්‍රපටය අරඹන්නට පෙර දිගහැරෙන නාමාවලියෙහි තබන්නට පවා ඔහුට සිතෙයි. ස්වීයත්වය පිළිබඳ අර්බුදය කෙතරම් උග්‍රද යනු ඉන් පෙනෙයි. කතෝලිකයකු වූ ආචාර්ය ලෙස්ටර්  ජේම්ස් පීරිස් දසසිල් මාතාවකගේ චරිතයක් යොදා ගත් ‘රන්සළු’ චිත්‍රපටය සාදද්දී පොත් කීයක් පරිශීලනය කළාදැයි හෙළි කළේ නැත. නමුත් ‘රන්සළු’ විශිෂ්ට චිත්‍රපටයකි.                 

නිර්මාණකරුවාගේ සිවිල් බලයට සහ නිෂ්පාදකයාගේ මූල්‍ය හා දේශපාලන බලයට කීකරුව පන්සලෙන් සිනමාහලට වඩින ස්වාමීන් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලාගේ ප්‍රචාරාත්මක ප්‍රකාශ දෙස අප සානුකම්පිතව බැලිය යුතුය. එසේ නමුත් මෙහෙණින් වහන්සේලා මෙම චිත්‍රපටයේ නිළියන් බවට පත් කර තිබීම නම් සමස්ත භික්ෂුනී ශාසනයටම නිගරුවකි. එය බුද්ධ මාතාවට පමණක් නොව මහෝපාසිකාවක වූ තිලංග මාතාවටද අපහාසයක් මිස පූජෝපහාරයක් වන්නේ නැත. ‘බුද්ධ මාතා’ චිත්‍රපටයෙහි රඳවන භික්ෂුනීන් ගැන සිනමාකරුවාම ලියන ගීතයක මෙසේ වෙයි. “ඝර බන්ධන බිඳ අභිනික්මන් කර.. මාලා ගන්ධ විලේපන අත්හල.. පිටුපා උතුරන නව යෞවනයට.. විකසිත වන ඉඳුරන් දමනය කර.. මහා ස්ත්‍රී.. භික්ෂුනී..’ නෙක ආලේපන පිහිටෙන් සුදු වෙන්නට අභිරුචි, විකසිත ඉඳුරන් සමනය කරන නිළියන් සමග භික්ෂුණීන් වහන්සේලා එක්ව තබා රූපගත කිරීම මහෝපාසිකා මාතාවකට පූජෝපහාර වන්නේ කෙසේද?

සුනිල් ආරියරත්නගේ පළමු චිත්‍රපටය වන ‘සරාගී’ වේ. එය බෞද්ධ සාහිත්‍යයේ විනය පිටකයේ එන පුවතක් නවීකරණය කරන්නට ගත් වෑයමකි. ගිහිගෙයි උකටලීව මහණදම් පිරීම සඳහා අමුසොහොනට ගිය භික්ෂූන් වහන්සේ තරුණියන්ගේ අළුත් සිරුරු කෙරෙහි ඇල්ම උපදවා සිල් බිඳගත් අයුරු එහි දැක්වෙයි. විනය පිටකයෙහි පුවත මෙම තරුණ සිනමාකරුවා නවීකරණය කරනුයේ තරුණ සොහොන් පල්ලෙක් ගැහැණියකගේ මළසිරුරක සැතපෙමින් තම කාමාශාව සංසිඳුවා ගන්නා අයුරු දක්වමිනි. සිය දෙවන සිනමා නිර්මාණය වූ ‘දුෂ්කර ක්‍රියා’ නමැති අර්ධ වෘත්තාන්ත චිත්‍රපටයෙහි පුහුදුන් තරුණ භික්ෂූවක් සංකීර්ණ සමාජය වෙතින් නැගෙන පීඩාකාරී සංවේදනා මැද ලෝකෝත්තර ආරම්මනයක එල්බ ගැනීමට කරන දුෂ්කර ක්‍රියාව නිරූපනය කරයි.

නළුවරණය උබතෝකෝටික උත්ප්‍රාසයක් මතු කරයි..

අප හමුවෙහි තැබෙන ඇතැම් මරණාසන්න සිනමා කෘත්‍ය යනු ඒවායෙහි එල්ලා තිබෙන අප්‍රාණ සිරුරු මත නැවැතී ඒ මතුපිට රසය විඳගන්නට කෙරෙන බලහත්කාරකම් වැනිය. එම සිරුරු විනිවිද ගොස් එකී චරිත ව්‍යවච්ඡේදනයට එම චිත්‍රපට අනුබල දෙන්නේ නැත. ‘බුද්ධ මාතා’ චිත්‍රපටයේ සිද්ධාර්ථ, යශෝධරා, මහාමායා, ප්‍රජාපතී යන ප්‍රධාන චරිත සඳහා ඉන්දියානු නවක නළිනිළියන් ආනයනය කිරීම ගැන අප ගැඹුරින් සිතිය යුතුය. අවශේෂ චරිත සඳහා මෙරට දක්ෂ නළුනිළියන් යොදාගෙන ඇත. මෙහි නළුවරණය උබතෝකෝටික උත්ප්‍රාසයක් මතු කරයි. සිදුහත්ට, සිය මවට, පුංචි අම්මාට සහ බිරිඳට පාව අකිලිෂ්ට විදෙස් නළුනිළියන් ආනයනය කළ යුතුවූ හේතුව සෙසු චරිත සඳහා ගන්නා දේශීය නළුනිළියන්ට අදාල නොවූයේද? ව්‍යාපෘතිකරුවන්ට අමතරව සුභාවිත සිනමාකරුවන්ද සිය සිනමා කෘතිවල මැනැවින් යොදා ගත් ප්‍රවීණ නිළීයක වන දිල්හානි ඒකනායක ‘බුද්ධ මාතා’ චිත්‍රපටයට යොදා ගෙන ඇත්තේ ප්‍රජාපතී ගෝතමී කතන්දරය පුනරුච්චාරණය කිරීමේ පූර්වකථන කාර්යයකටය. ඇස්වල කඳුළු පුරවාගෙන හැඟීම්බර වෙමින් රඟපාන්නට ඇය ප්‍රයත්න දැරුවත් මෙම සූත්‍රධරයාගේ චරිතයට පැවරෙන්නේ බෞද්ධ සිද්ධස්ථාන වෙත එන විදේශිකයකුට එහි ඉතිහාස කතාව විස්තර කර දෙන ‘ටුවරිස්ට් ගයිඩ්’ වැඩකි. ටුවරිස්ට් ගයිඩ්ලා මෙලෙස හැඟීම්බර වන්නේ නැත.

තම පළමු වෘත්තාන්ත චිත්‍රපටය තිරගත වන්නටත් පෙර වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් තනා වාර්තා තැබූ සුනිල් ආරියරත්නගේ 26 වැනි චිත්‍රපටය වන ‘බුද්ධ මාතා’ හදන්නට පමණක් යට කළ රුපියල් ලක්ෂ දහසක් බව කියැවේ. ප්‍රචාරාත්මක වියදම්ද සමග මුළු වියදම ලක්ෂ එක්දහස් පන්සීයයකි. ‘බුද්ධ මාතා’ අලාභ නොවීමට නම් අවම වශයෙන් ලක්ෂ හතක් ඉක්මවූ ජනතාවක් මෙම චිත්‍රපටය නැරඹිය යුතුයි. සිනමාවටත් වඩා මෙම අංක ගණිතය ගැන සුනිලූන් දැනුවත් තරම චිත්‍රපටයට යොදා ගන්නා නිමිත්ත හා ඊට යොදන නාමයේ පටන්ම ප්‍රදර්ශිතය.

සුනිල්ගේම ශුද්ධ මාතාව සහ බුද්ධ මාතාව එකම යාවජීව ව්‍යාපෘතියක අදියර දෙකක්..

අලූත් ලොවක් ගැන සිතූ වරදට යදමින් බැඳ විලංගු ලා දඬුවම් දුන් යුගයක් විය. ඉඳිකටු ඇන ඇඟිලි තලා වද දී සිරකුටියක මරා දැමූ පුතුන්ගේ මාතාවන්ට වඩා සුනිලූන් මෙවර ගෙනෙන මේ ප්‍රබන්ධ මාතාව සත්‍යයක් සේ අප අදහන පුරා වෘත්තයකි. භීෂණ සමයේ ජන මන පිනවූ ‘පවන’ ප්‍රසංගයේ නින්නාද දුන් ගීතයක අප දුටුවේ ශුද්ධ මාතාවකි. වත්මන් පුනරුද යුගයේ එකී ශුද්ධ මාතාවන්ම සිනමාහල් වෙත ගෙන්වා පෙන්වන බුද්ධ මාතාව එදා අපට පෙන්වූ මාතාවට වඩා බරපතළ වෙනසකට ලක් කළ මිථ්‍යා නිරූපනයකි.

මේ පුනරුද යුගයේ සිට ඒ භීෂණ යුගය දක්වා වූ සත්‍ය මාතාවන් දෙදෙනාම එකම යාවජීව ව්‍යාපෘතියක අදියර දෙකක් බව පෙනේ. එකම වෙනස ‘පවන’ සහ ‘බුද්ධ මාතා’ ප්‍රවේශපත් ගාස්තුව හා රුපියලේ අගය වෙනස් වී තිබීම පමණකි. අවස්ථාවාදී පූජෝපහාර සිනමා ව්‍යාපාරය තුළ දුට හැකි සටකපට මිථ්‍යාචාරයක් ලෙස ‘බුද්ධ මාතා’ චිත්‍රපටය අප හමුවේ ප්‍රක්ෂේපනය වෙයි.අජිත් ගලප්පත්ති

Related posts

තව්තිසා’ පික්චර්ස් (පුද්)සමාගම ඉදිරිපත් කිරීමක්

SSS….දෙමළ චිත්‍රපටය

Sabhawe Sina Media Release