කුමක්ද මේ “කප් සිටුවීම

සටහන..අරුනඩෙල් විජේරත්න

මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඇතුලු සතර මහා දේවාල මුල් කරමින් ඇරඹෙන විශ්වයේ මහා පුන්‍ය මංගල්‍යය වූ ඓතිහාසික කන්ද උඩරට සෙංකඩගල දළදා පෙරහැර මංගල්‍යයයේ කප් සිටුවීම ශුභ මුහුර්තියෙන් සිදු කෙරිණි.දළදා පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලය විසින් සිදු කිරීම එහි චාරිත්‍රයයි.ඒ අනුව මේ මංගල්‍යයයේ කප් සිටුවීම විෂ්ණු දේවාලය විසින් සිදු කලද කප කැපීම සිදු කෙරෙන්නෙ අලුත්නුවර ශ්‍රී මහා දැඩිමුණ්ඩ දේවාලය විසිනි.එසේ කපාගත් කප මහා පෙරහැරකින් අලුත්නුවර සිට සෙංකඩගල ශ්‍රී දළදා මාලිගාව වෙත රැගෙන විත් කපාගත් කප නාථ,විෂ්ණු,කතරගම,පත්තිනි යන සතර දේවාල වෙත බෙදා දී ශුභ මුහුර්තියෙන් කප් සිටුවනු ලබයි.

කුමක්ද මේ කප් සිටුවීම? මහනුවර ශ්‍රී දළදා හාමුදුරුවන් උදෙසා සිදු කෙරෙන මේ කප් සිටුවීම ඇයි සතර මහා දේවාල විසින් සිදු කරන්නෙ?එසේනම් මේ කප් සිටුවීමේ චාරිත්‍රයද දළදා හාමුදුරුවන් උදෙසා සිදු කල පළමු පෙරහැරේ සිටම පැවත එයි.ශ්‍රී ලංකාවේ සධාතුක ධාතුන් වහන්සේලා වඩම්මවන බොහෝ පෙරහැර මංගල්‍යයන්වල මේ කප් සිටුවීම සිදු කරයි.මේ කප් සිටුවීමේ මූලික අරමුණ නම් දින කිහිපයක් පුරාවටම යම් විහාරස්ථානයක හෝ පුන්‍ය භූමියක පෙරහැර හා සිදු කෙරෙන අනෙකුත් සාසනික පිංකම් සඳහා දෙවි දේවතා පිරිසට සහසම්බන්ධ වී පින් රැස්කර යහපත උදා කරගැනීම සඳහා එකී පිංකම් සිදුවෙන දින ගණනේදී ඒ පුණ්‍ය භූමියේ වැඩ හිඳිමට සුදුසු තාවකාලික විමානයක් ලෙසයි කප් සිටුවීම සිදු කරන්නෙ.මේ සඳහා යොදාගන්නෙ කිරි ගහකි. කොස් හෝ අඹ වැනි ශාකයන් බොහෝවිට යොදාගනී.මේ සඳහා තෝරාගන්නෙ.නොඉඳුල් එනම් මින් පෙර කිසිදු අත්තක් නොකැපූ ශාකයකි.එම ශාකයේ උතුරු,ඊශාන හෝ නැගෙනහිර යන දිශාවන් වල විහිදී ඇති අත්‍තක් තෝරාගෙන කපයි.මෙම අත්ත කැපීමට යොදාගත් දිනට අවම වශයෙන් සතියකට පෙරවත් පහනක් පත්තු කර හේවිසි ශබ්ද පූජා පවත්වා එම ගසට අරක්ගත් වෘක්ෂ දේවතාවන්ගෙන් කප කැපීම සඳහා අවසර ලබාගනි.එසේ අවසර ලබාගෙන සුභ නැකතින් කප් කපා මහා පෙරහැරකින් විහාරයට ගෙනවිත් වටතිර හා උඩු වියන් බැඳ වර්ෂාවට අධිපති ඉන්ද්‍ර දෙවිය්ගේ යෂ්ටිය ආකාරයට ගොක්කොළ වලින් සරසා ශුභ නැකතට ශබ්ද පූජා මඟුල් බෙර මධ්‍යයේ කප් සිටුවයි.එසේ කප් සිටුවා සතර කොන පහන් පල හතරක් සිටුවා සතර වරම් දෙවියන්ට කැපකර කපෙහි විමන් පහළ කරගෙන වැඩ සිටීමට දෙවියන්ට ආරාධනා කරයි.මෙම කප් කැපීම හා කප් සිටුවීම කලයුතු වන්නෙ වචනයෙන් පරිසමාප්තාර්ථයෙන්ම කපු මහතෙකි.එනම් කය වූ පහත් වූ ගති වැඩ වලින් නිදහස් ව පාපයට ලැජ්ජාව සහ බිය නම් දේව ධර්මය ඇසුරු කරනා කපු මහතෙකි.මේ කප් සිටවූ පළමු දින සවස මල් පෙරහැරක් කප වටේට ගමන් කල යුතුය.ඒ අපගේ ආරාධනය පිළිගෙන කපෙහි විමන් පහළ කරමින් වැඩ ඉන්නා දෙවියන්ට කරනා උපහාරයක් ලෙසිනි.ඒ නිසාමයි මෙම කප්සිටුමීමේ චාරිත්‍රයට දේවාලයක්ම සම්බන්ධ විය යුතු වන්නෙ.මේ කප් සිටුවීමේ චාරිත්‍රය හුදෙක්ම සිංහල බෞද්ධ දේව සංකල්පය හා දේව වන්දනාව හා බැදුණු චාරිත්‍රයකි.

එසේ සිටුවන ලද කප පෙරහැර අවසන් වන දිනය දක්වාම තිබිය යුතු අතර ඒ දක්වාම පහන් පැලෙහි පහන් දල්වා තිබිය යුතු සේම මල්පූජාවන්ද සිදු කල යුතුය.එසේ පෙරහැර අවසානයේ.එම කප් ගස ළඟ නැවත වතාවත් සිදුකර විමන් පහළ කරගත් දෙවියන්ට ස්වාමීන් වහන්සේලා විසින් පින් අනුමෝදන් කර කපු මහතෙකු විසින් කප ගැලවීම සඳහා විමන් පහළ කරගත් දෙවියන්ගෙන් අවසර ඉල්ලයි.ඉන්පසුව ශබ්ද පූජා මඟුල් බෙර මධ්‍යයෙ නැකැත් වෙලාවට කප් ගලවා සුදු රෙද්දකින් ඔතා දිය කැපීම මංගල්‍යය සඳහා රැගෙන ගොස් අවසානයේ මුහුදින් කෙළවර වන ජල පහරකට දමා කඩුවෙන් දිය දෙබෑ කර දෙබෑ වන ජලය කළයකට ගෙනවිත් නැවත විහරයේ ධාතු මන්දිරයේ හෝ දේවාලයේ තැන්පත් කරයි.නැවත මීළඟ පෙරහැර වනතෙක් එම ජලය කලයේ තිබෙන අතර විහාරයේ හෝ දේවාලයේ ශුද්ධ ස්භාවය අඩු වී ඇත්නම් කළයේ ජලයද ඒ හා සමව අඩුවන බව පුරාණ විශ්වාසයයි.

අතීතයේ දැහන් සමාධි මගඵල වැඩුණු ප්‍රඥාවන්ත ස්වාමීන් වහන්සේලා සහ උපාසක පිරිස් මෙය දුටු බැවින් ඔවුන් විසින් එදා කප්සිටුවීම එහි යහපත දැක සිදු කලහ.එබැවින් එය අදටත් කඩනොකොට එසේම නොගරහා පවත්වාගෙන එන්නා වූ සැමට දළදා හාමුදුරුවන්ගෙ ආශිර්වාදය ලැබේවා!!!

දළදා හාමුදුරුවන්ගෙ ආශිර්වාදයෙන් මෙවන් හෙළ බොදු සිරිත් පරයින්ගෙන් සුරැකී චිරාත් කාලයක්ම පවතීවා!!!

.

Related posts

මඩුවන්වෙල වලව්වේ විත්ති

අපේ වැව් වනසන ආක්රමණික ශාක

රට රටවල අරුම පුදුම අවමංගල චාරිත්‍ර