කිරි ඉතිරවීම

සටහන ….අරුණ දීප්ති ගුණසිංහ

කිරි ඉතිරවීම ලාංකික ජනසමාජය පුරාම දක්නට ඇති අභිචාරයකි.කිරිවලින් සෞභාග්‍යයද ඉතිරවීමෙන් ආඪ්‍යයද සංකේතවත් වෙයි. ජීවිතයේ මංගල අවස්ථාවන්හිදී දේවාශීර්වාදය පතා කිරි ඉතිරවීම සිදුකෙරේ.කිරි ඉතිරවීම ලංකාවේ සියළු ගැමි හා නාගරික සමාජයන් පොදුවේ ඉටුකරන බව පෙනීයයි.

කිරි ඉතිරිවීම පිළිබඳව නුවර කළාවියේ ජන මංගල්ල ග්‍රන්ථයට කරුණු එක් කරන කේ. බී.මානෑවයන් කිරි ඉතිරුම් මංගල්ල ගැන මෙලෙස තොරතුරු සපයයි.

කිරි ඉතිරිම වූ කලී සෞභාග්‍යයයේ සංකේතයක් “ලෙසටය“ කමත කෘතියෙන් පැවසෙන්නේ.කිරි ඉතිරවූ විට සශ්‍රීකත්වය ළගාවෙන්නේය යන විශ්වාසය කිරි ඉතිරිවීමේ මංගල්ලයට පදනම වී ඇතැයි නන්දසේන රත්නපාල සූරීහු ජනශ්‍රැති විද්‍යා කෘතියෙන් පෙන්වති.“ආගමික හා අභිචාර විධිමත රදාපවතින අපුරුතම යාතු කර්මයකි කිරි ඉතිරුම“ මෙසේ සඳහන් වන්නේ සිංහල බෝධිවංශයේය.කිරි ඉතිරුම කළගුණ දැක්වීමේ උතුම් මංගල්ලයක් ලෙසටය නුවර කලාවියේ දෙවිදේවතාවෝ කෘතිය දක්වනුයේ.දෙවියන් කෙරෙහි අධික භක්තියක් ,ගෞරවයක් දක්නට ලැබෙන මංගල්ලයකි කිරි ඉතිරුම යැයි මුදියන්සේ දිසානායකයෝ සිය කෘතියෙන් පහදති.මේ යථාර්වාදී පිළිඵලයන් කිරි ඉතිරුම තුලින් සාක්ෂාත් වන බව අපේ පැලේ පිලේ ඇත්තන් දුරාතීතයේ සිටම අත්දැකීම් ක්ෂේත්‍රෙයන් දැන හැඳිනගෙන සිටි බව එදා මෙදා තුර ගමේ කිරි ඉතුරුම් මංගල්ල තුලින් මොනවට සනාථ වෙයි.

කිරි ඉතුරුම් මංගල්ල කෙලෙසක සිදු උනද ඒ සඳහා අළුත් සහල් යොදා ගත් බව කියැවේ.කිරි ඉතිරුමට විවිධ නාමයන් භාවිත කරන බව දැක්වෙයි.මේ සෑම අවස්ථාවකව පාරම්පරිකව පැවත එන අභිචාර සම්ප්‍රදායන් දක්නට ඇත.

ඒ ඒ.ප්‍රදේශවල කිරි ඉතිරුම් නානා ප්‍රකාර නාමයන් ගෙන් හඳුන්වති.දෙමළ හත්පත්තුවේ එය කිරිමංගල්ලේ හෝ අළුත් සහල් මංගල්ලේ යැයි නම් වෙයි.එය පානම්පත්තුවේ රොටී පූසේ නමි.ඒ අතර උඩරට සිංහලය කෘතියේ අලුසල්මංගල්ලේ මෙන්ම අලුස්සාල්දානේ යැයි සඳහන් වේ.නුවර කලාවියේ ඇත්තන් එය කිරි ඉතිරුම් මංගල්ලේ සේම රාජකාරිය හෝ දේවකාරිය ලෙසටය,වහරනුයේ.එමෙන්ම ලග්ගල වාසීහු ඊට වෙලේ කාරිය යයි නම් කරති.තවද දෙවොල් දෙවියන් ගොඩ බැස්ස අවස්ථාවේ කිරි ඉතිරුමක් පැවැත්වූ අතර එය සුවිශේෂකොට කිරිමඩු,මංගර මඩු.වෙන වෙනම ශාන්ති කර්ම ලෙස ඉස්මතු වී යැයි තිස්ස කාරියවසම් ස‍ුරීහු සාහිත්‍ය විශේෂ කලාපයේ ලිපියකින් පෙන්වා දෙති.පණ්ඩුල ඇඳගම සූරීහු එය දේව දානයක් සේ නම් කරති.19

කිරි ඉතිරවිමට ගනු ලබන කිරි දෙවර්ගයකි.ඒ පොල් කිරි හා එළ කිරියි.ප්‍රදේශීයව විවිධ වෙනස් කම් සහිතව කිරි ඉතිරිවිම සඳහා පොල්කිරි හෝ එළකිරි යොදා ගනු ලබන බව පෙනීයයි.වන්ති හත්පත්තුවේ ජනකතා ඇසුරෙන් තිලක් සේනාසිංහයන් දක්වා සිටින්නේ දෙවියන්ට එළකිරි-යක්කුන්ට පොල් කිරි වශයෙනි.ඒ පිළිබදව තවදුරටත් තොරතුරු එක් වන්නේ මෙලෙස,

ඇතැම් මහායානික ග්‍රන්ථයන්හි ගෝපිකාවක වශයෙන් පවා හැඳින්වෙන සුජාතා සිටු දුව රුක් දෙවියන්ට වූ බාරයක් ඔප්පු කරනු පිණිස කිසියම් කිරි ආහාරයක්(ක්ෂීර පායාස) සකසා ගෙන බෝසතුන් වැඩ සිටි බෝමැඩ අබියසට පැමිණි බව ථෙරවාදී බෞද්ධ සාහිත්‍යෙයේද සඳහන් වෙයි.සිංහලයන් කිරි පිඬු වශයෙන් හඳුන්වා ඇති එය එළකිරි සහ ධාන්‍ය මුසු කොට තැනූ ආහාරයක් බවට සැක නැත.එමෙන්ම භාරතීය වෛදික සංස්කෘතියෙහි විවිධ අධ්‍යාත්මික සහ අභිචාරාත්මක කටයුතු සඳහා ‘එළකිරි යොදා ගැනුණු බවට සාක්ෂි රැසකි.විශේෂයෙන් ලෞකික සමෘද්ධිය සහ සෞභාග්‍යය සම්බන්ධ කටයුතුවල දී එළකිරි ඉතිරවීම සුලබව සිදු වු බවට සැක නැත.

පුරාණ සාහිත්‍යයට අයත් විෂ්ණු පුරාණයේ එන විෂ්ණු දෙවියන් විසින් මන්දගිරි නම් පර්වතය දණ්ඩකු කොට ගනිමින් කිරි මුහුද කැළඹ වූ කතාව ශ්‍රී ලංකිය ජන විඥ්‍රනය තුළට ද පිවිස තිබේ.එහිදී රත්නයන් දාහතරක් මතු වූ අතර ලෞකික සමෘද්ධියේ ,සෞභාග්‍යෙය් සංකේතය වන ලක්ෂ්මී දෙවඟන ද ඒ අතර වන්නී ය.ඒ අනුව කිරි ඉතිරිවීම විෂ්ණු ගේ කිරි මුහුද කැළඹීමේ සංසිද්ධිය සංකේතය කරන්නක් බවට සාධාරන ලෙස අනුමාන කළ හැක.ඊට අමතරව ශ්‍රී ලංකීය ජන සමාජයේ අතිශය ප්‍රචලිත පත්තිනි ඇඳහීම මුල් කොටගත් පුරාණෝක්තියක්ද මෙම කිරි ඉතිරවීමේ චාරිත්‍රය හා සෘජුවම සම්බන්ධය.

පත්තිනි දේවතාවිය කන්නගී නම් වන මිනිස් ආත්මයයේදී නොකළ වරදකට සිය සැමියා මරා දැමූ පඬි රජුට ශාප කරනුයේ තම වම් පියයුර ගලවා පොළොවේ ගැසීමෙනි.එම ශාපය කෙතෙක් බලවත් ද යත් බෞද්ධ විහාරාම,භික්ෂූන් ,කුඩා දරුවන් ආදී කොටස කිහිපයක් පමණක් ඉතිරි කරමින් මුළු පඬි රටම විශාල ගින්නකින් දැවී පිළිස්සී යයි.ඉන් දින කිහිපයකට පසුව කන්නගීගේ මනුෂ්‍ය ආත්ම භාවය ද නිමාවට පත්වෙයි.ඉන් පසු දේවත්වයට පත්වන ඇය පළමු කොට සිදු කරනුයේ රාජ උදහසින් මරණයට පත්වූ තම සැමියා වන කොවලන් දේවත්වයට පත්කොට දෙව්ලොවට පිටත් කොට හැරීමය.අනතුරුව තම දිව්‍යානුභාවයෙන් මියගිය එළදෙනෙකුගේ සමකට යලි ජීවය දෙන පත්තිනිය ඇගෙන් කිරි දොවා ඒවා උතුරවා මුළු පඬි රට පුරාම ඉස හරින ලෙස උපදෙස් දෙන්නීය.ඇගේ ශාපයට පත්ව ගිනිබත් වූ පඬි රටේ එම බියකරු වාතාවරණය නිමාවී එම දේශය යලි සක්‍රීය සුඛිත මුදිත වනුයේ පත්තිනියගේ එම හාස්කම මුල්කර ගනිමින් බව ඇය හා සම්බන්ධ පුරාණෝක්තින් කිහිපයකම දැක්වෙයි.

එසේම මෙහි ඉහත සඳහන් කළ පරිදි ශ්‍රී ලාකීය සිංහල ජන සමාජයට එල්ලවූ දකුණු ඉන්දීය ද්‍රවිඩ බලපෑම් මුල්කොට මෙම පුරාණෝක්තිය ද පාදක කරගනිමින් කිරි ඉතිරවීම පිණිස එළකිරි යොදා ගැනීමේ චාරිත්‍රය කන්ද උඩරට රාජධානිය පුරා පැතිර යන්නට ඇත.නමුත් අපගේ ජන සංස්කෘතිය පිළිබඳ තරමක් ගැඹුරින් විමසා බැලීමේදී අතිතයේ සිට නුවර කළාවිය,හත් කෝරලය සේ ම මුහුදුබඩ ප්‍රෙද්ශවාසීන් ද කිරි ඉතිරවීම පිණිස පොල් කිරි යොදා ගත් බව පෙනෙයි.විශේෂයෙන් දකුණේ ධීවර ජනතාව ,බින්තැන්නේ වැදි ජනතාව සහ ශ්‍රී ලංකීය තෙළිගු (අහිකුණ්ටක)ජනතාව ද කිරි ඉතිරවීම පිණිස එළකිරි යොදා නොගත් බවට සාධක තිබේ.ඒ අනුව ඒවා පොල් හෝ වෙනයම් කිරි විශේෂයක් විය හැක. මෙහිදී ධීවරයන් මෙම කිරි ඉතිරවීම කරනුයේ ගරා යකු හට කරන පුද පිළිවෙතක් ලෙසිනි.වැදි ජනතාව ද තම ඉතිරිවීම නෑ යකුන් පිදීමේ චාරිත්‍රයක් වශයෙන් ඉටු කරති.ශ්‍රී ලාංකීය තෙළිගු හෙවත් අහිකුණ්ඨික ජනතාව ඉතිරවීම පිණිස එළකිරි යොදා නො ගනුයේ ද කිනම් හෝ පැරණි යක්ෂ වන්දනාවක අභිචාරාත්මක කටයුත්තක් නිසාම විය හැක.

මෙහිදී නුවර කලාවිය සහ වන්නි හත්පත්තුව ආශිත පුරාණ වැව් ගම් ආශිත කිරි ඉතිරවීමේ මංගල්‍යෙය්දී අදාල භූමි ප්‍රෙද්ශයට අරක් ගත් බහිරව දේවතාවා ස්මරණය කෙරෙන අතර අදාළ කන්නයෙන් ලද පළමු අස්වැන්නෙන් අතීතයේ එම කුඹුරු ඉඩකඩම් භුක්ති විඳ තවමත්ඒවාට ඇල්ම බැල්ම හෙළා හිඳින පැරණි ඥාතීන් හෙවත් ‘මුත්තාවරුන්‘ තුටු පහටු කිරීම ද මෙම කිරි ඉතිරවීමේ මංගල්ලයේ ප්‍රධාන අරමුණු අතර වෙයි.

නුවර කලාවියේ තොරතුරු අනුව කිරි ඉතිරුම් අටක් ගැන තොරතුරු දැක්වේ.ඒවා නම්,19

1.හටිටිකිරි ඉතිරුම් මංගල්ලේ(වෙලේ දේවකාරිය,වෙලේ රාජකාරිය)

2.කොටු කිරි ඉතිරුම් මංගල්ලේ(කොරටු,හේනේ,වතුපිටි,කිරි ඉතිරවීම)

3.මුට්ටි කිරි ඉතිරුම් මංගල්ලේ((කමත් කිරි ඉතිරුම,කලවිට කිරි ඉතිරුම)

4.තොටමං කිරි ඉතිරුම් මංගල්ලේ(මාවත් කිරි ඉතිරුම,ළිංතොට,වැව්තොට කිරි ඉතිරුම)

5.පට්ටි කිරි ඉතිරුම් මංගල්ලේ(ගාල් කිරි ඉතිරුම,ගොපළු මංගල්ලේ)

6.දෙවොල් කිරි ඉතිරුම් මංගල්ලේ (දේවාල කිරි ඉතිරුම)

7.හිරමංගල කිරිඉතිරුම් මංගල්ලේ(මඟුල් කිරි ඉතිරුම)

8.ගෙට ගෙවදුම් කිරි ඉතිරුම් මංගල්ලේ(ගෙවැදීමේ කිරි ඉතිරුම)

1.හටිටිකිරි ඉතිරුම් මංගල්ලේ(වෙලේ දේවකාරිය,වෙලේ රාජකාරිය)

ගොවි ඇත්තන් විසින් පවත්වනු ලබන්නකි.වගාවන්ගේ ආරක්ෂාව සහ ගව මහීෂාදින්මෙන්ම ගැමියන්ගේ ආරක්ෂාව පතා සිදු කරන්නකි.ඒ ඒ ප්‍රාදේශීය දෙවිවරුන් උදෙසා පැවැත්වේ.

2.කොටු කිරි ඉතිරුම් මංගල්ලේ(කොරටු,හේනේ,වතුපිට,කිරි ඉතිරවීම)

හේනක් ,තාවල්ලක්,වතු පිටියක් වගා කිරිමට පෙර ප්‍රදේශයට ආවේනික දෙවිවරුන් උදෙසා පැවැත්වෙන්නකි.

3. මුට්ටි කිරි ඉතිරුම් මංගල්ලේ((කමත් කිරි ඉතිරුම,කලවිට කිරි ඉතිරුම)

කමතේදී අස්වැන්න එකතුකරන විට සිදුකරන්නකි.කමත් බාර දෙවිදේවතාවුන් වෙනුවෙන් සිදු කරන්නකි.කමතේ කිරි ඉතිරවීමෙන් බැත(අස්වැන්න) බහිරවිට ඇද කම්මුතු ක්රෟමට නොලැබෙන බවත් විශ්වාස කරති.මාමිණියා කෝරළයේදී අයියනායක, පුල්ලයාර්, ගොපළු හා බහිරවයාට පුද කරන අතර විලච්චි කෝරළයේදී අයියනායක,පුල්ලියාර්,මංගර,කම්බිලි හා කඩවර යන දේවතාවන් වෙනුවෙන්ද, කලාගම් කෝරළයේදී අය්යනායක, පුල්ලයාර්,මංගර හා කඩවර වෙනුවෙන්ද ,සැම තැනකදීම කමතෙන් පිටතදී බහිරවයා වෙනුවෙන්ද පිදවිලි තබන බව කියැවේ.

4.තොටමං කිරි ඉතිරුම් මංගල්ලේ(මාවත් කිරි ඉතිරුම,ළිංතොට,වැව්තොට කිරි ඉතිරුම)

මංමාවත් තැනීම,ගම්කොරටුවේ සිට මංකඩට,පන්සලට සෙහොන් කනත්තට, අවට ගම්බිම්වලට ආදී මංපෙත් සැකසීමේදී වැඩ නිමවු පසු කිරි ඉතිරුමක් කර ඔප්පු දෙන බවට කරන බාරයක් පුද කිරිම සඳහා සිදුකරන්නකි.

5.පට්ටි කිරි ඉතිරුම් මංගල්ලේ(ගාල් කිරි ඉතිරුම,ගොපළු මංගල්ලේ)

ගව සම්පත වෙනුවෙන් ඉටු කරන්නකි.මෙම ශාන්තිකර්මය ගව පට්ටිය තුලදීම සිදුකරනු ලබයි.මංගර දෙවියන් උදෙසා පැවැත් වෙන්නකි.

6.දෙවොල් කිරි ඉතිරුම් මංගල්ලේ (දේවාල කිරිඉතිරුම)

නුවර කළාවියේදී සිදු කරන අග්ගස් මංගල්‍යය,නානුමුර මංගල්ලය,දොරවහන මංගල්ලය,කාර්ති මංගල්ලය හා හුරුලු මංගල්ල අවසානයේදී කිරි ඉතිරීමෙන් නිමාකෙරේ.එසේ සිදු කරන කිරි ඉතිරුම ප්‍රාදේශීයව අදහන දෙවි දේවතාවුන් වෙනුවෙනුත් අයියනායක පත්තිනි ,කඩවර වැනි ප්‍රධාන දෙවිවරන් උදෙසා ඉටු කරන්නකි.

7.හිරමංගල කිරිඉතිරුම් මංගල්ලේ(මඟුල් කිරි ඉතිරුම)

විවාහ මංගල අවස්ථාවලදී සිදු කෙරේ..මනාලියගේ නිවසේදී මගුල් පෝරුව ආසන්නයේදී සිදුකරන්නකි.නව යුවතිපතීන්ගේ සෞභාග්‍ය උදා කර ගැනීමේ විශ්වාසයෙන් ඉටු කෙරේ.

8.ගෙට ගෙවදුම් කිරි ඉතිරුම් මංගල්ලේ(ගෙවැදීමේ කිරි ඉතිරුම)

අභිනවයෙන් ඉදිකළ නිවසකට ගෙවැදීමේදී සිදු කරන්නකි.නිවසේ පැලේ වැඩ නිමවූ පසු නැකතට උළුවසු පැනීමෙන් පසු නිවසේ මධ්‍යයේ ලිපක් බැඳ මෙම කිරි ඉතිරවීම සිදුකෙරේ.

මේ සෑම අභිචාර පූජා විධියක් වෙනුවෙන්ම එයට ආවේනික වූ යාතු කර්ම,පුද පූජා,විශ්වාස ,සිරිත් විරිත් රාශියක් ඇති බව සදහන් කළ යුතුය.

කමතේදී කිරි ඉතිරවීම පිළිබදව තොරතුරු දක්වන පියසේන කහඳගමයන් ඒ පිළිබඳව මෙලෙස තොරතුරු දක්වයි.

කිරි ඉතිරවීමේ චාරිත්‍රය කමත හා සම්බන්ධවීමට ඈත අතීතයේ සිට සිදුවූ ඇති බවත් කමතේ සියලු වැඩ අවසන් කිරීමෙන් පසු සිදු කරන බව පැවසේ.බොහෝ පෙදෙස්වල මෙම කටයතු කර ඇත්තේ පෙරවරුවෙහිය.කමතේ කිරි ඉතිරවීමේදී ගොටු පිදුම් ලබන දෙවිවරු ලෙස පහත දෙවිවරුන් දක්වා ඇත.

1.ගම්බාර දේවතාවා

ගම්බාර දේවතාවුන් වහන්සේලා වශයෙන් නුවර කලාවිය හා වන්නි ප්‍රදේශවල අයියනායක දෙවියෝද,තමන්කඩුවේ මින්නේරි දෙවියෝ ද,සත් කෝරලයේ හැටහත් තට්ටුවක් වූ බණ්ඩාරවරු ද, වලවේ නිම්නයේ හා උතුරු මැද පළාතේ සමහර පෙදෙස්හි මංගර දෙවියෝ ද වශයෙන් දේවි දේවතාවුන් විශාල පිරිසකි.

2.වැව් බාර දේවතාවා.

මුළු රටේම කඩවර දෙවියන් පිළිගැනේ.කඩවර ප්‍රධාන කොට ගත් දෙවිවරු පස් දෙනෙකි.

1.කලා කඩවර නෙහොත් සෙනවිරත්න කඩවර

2.මල් කඩවර

3කුමාර කඩවර

4.දළ කඩවර

5.පූට්ටු කඩවර ඒ ඇත්තන්ය.

කිරි ඉතිරවීමේ අභිචාරය මංගර දෙවියන් ගෙන් ඇරඹුණු බව ශාන්ති කර්ම සාහිත්‍යයේදී කියැවේ .ඒ පිළිබඳව ජයසේන කෝට්ටේගොඩයන් දක්වන්නේ මෙවන් අදහසකි.

.පත්තිනි දේවියගේ ශීලය පරික්ෂා කිරීමට පැමිණි සක් දෙවියෝ අයගෙන් ඇල් හාලේ බතක් වියා දෙන ලෙස ඉල්ලා ඇත.ඇයගේ පතිවෘතා බලයෙන් එවලේම ඇල්හාල් මැවුණු බවත් ඒ හාලෙන් කිරිබත පිසින්නට සහල් ගරන විට ගල් කැටයක් මතුවී ඇති බවත් කියැවේ.එම ගල් කැටයෙන් උපන් කුමරා මං ගැරූ විට පහළවූ බැවින් පත්තනියගෙන් මංගර ලෙසින් නම් ලද බව පුරාවෘත්තයයි.සතුන් ගෙන් ආරක්ෂා වීමට අදහන දෙවියකු වන මංගර,කිරි හරකුන් භාරව සිටින දෙවිකෙනෙකුද වෙයි.රුහුණේ මීකිරිවලට මුල් තැන ලැබී ඇත්තේ මෙම දෙවියන් නිසා බවද කියැවේ.

පහත කතා පුවත අනුව කියවෙන්නේ කිරි ඉතිරිවීම ආරම්භ වූ ආකාරයයි.

උපන් සත් අවුරුදු වියේ සිටම කැලෑ වැදී වන සතුන් සමඟ ඇති දැඩි වූ බුදසිරු වන සතුන් ඇල්ලීමටත්,දඩයම් කිරීමටත් නොයෙක් දස්කම් දැක් වූවෙකි.බුදසිරුගේ මෙම දස්කම් ලොව පුරා පතල විය.කදිරාගොඩ ප්‍රදේශය වනසන මීමෙකු පිළබඳව දැන ගත් බුද සිරු සිය පිරිවර සමග නැව් නැගී උස්සන් ගොඩින් ගොඩ බැස මීමා ඇල්ලීමට කටයුතු යෙදී ය.

උස්සන්ගොඩින් ගොඩ බට බුදසිරු සහ පිරිස කදිරා ගොඩ ප්‍රෙද්ශයට පැමිණ සිය පිරිවරෙහි විඩාබර බව නිවා ගැනීම සඳහා එහි විසිතුරුව වැඩී තිබුණ නුග රුකක් සෙවන සේ යොදා ගති.පිරිවරෙහි සිටි එඬේර කුමරුන් මීමා සෙවීමට පිටත්කොට බුදසිරු සහ අනෙකුත් පිරිවර නුග රුකෙහි සෙවන ලබා ගත්තේ වුව ද,නුග රුකෙහි බැඳ ඇති අපුර්ව මීය කැඩීමට පටන් ගති.මීය කැඩීමට පිරිවර ගන්නා ලද උත්සාහ අසාර්ථක වූයෙන් බුදසිරු පොරව අතට ගෙන නුගරුක මුලින් ම කපා හෙළා මීය පිරිස අතරේ බෙදා එඬේර කුමරුන්ට කොටසක් වෙන් කර තැබී ය.

පෙර කිරි වෛරය නිසා පළි ගැනීමෙහි අදහසින් බුදසිරුගේ පැමිණීම අපේක්ෂා කර සිටි සෙහොයුරු නුග නුග රුකෙහි අරක් ගෙන සිටි අතර නුග රුක කපා හෙලීමත් සමග කෝපාවිෂ්ට වී මීමෙකුගේ වෙස්ගෙන අසළ සිටි ගව රැළකට ඇන මරා දමන්නට විය.මෙය දුටු මංගර මන්ද ගෙන මීමා ඇල්ලීමට සූදානම් වුව ද මන්ද දිගේ දුව පැමිණි මීමා මංගරටත්,පිරිවරටත් ඇන මරා දැමීය.

මරන ලද මීමාගේ කකුල් සතර කණුවලටත් ,ඉළ දොළස මැස්සටත් ගෙන තනන ලද කිරි මැස්සේ ,දණහිස්වලින් ලිග්ගල් බැඳ ,සම උඩු වියනට අදිමින් ,බඩවැල් වට තිරයට ගෙන ලේ මොල පිරවු හිස් කබල හිස් කබල කිරි හැලියට ගෙන කිරි ඉතිරිවිණි.කණ් දෙකින් ගිනි පවන් ගසා ඇස් දෙකෙන් නිල්මිනි පහන් පත්තු කර,වලිගයෙන් ඊගස තනා ,උගුරු දණ්ඩ බට ලෙස ගෙන පිඹින ලදී.උතුරුවන ලද කිරි පිරිසට ඉසීමෙන් මංගර ඇතුළු පිරිවර නැවත පණ ලැබූහ.මිය ගිය මීමාගේ ඇට කටු ,සම් ආදී සියල්ල එක්කොට ඒවාට ද කිරි ඉසීමෙන් පසු මීමා ද පණ ලැබූ අතර මීමා එතැන් සිට මංගරගේ වාහනය බවට පත්විය.කිරි ඉතිරවීමේ ආරම්භය ලෙස සැලකෙන මේ කතා ප්‍රවෘත්තිය වටා සබරගමු ශාන්තිකර්මයක් වන කිරි මඩුව සැකසී ඇත.

Related posts

මඩුවන්වෙල වලව්වේ විත්ති

අපේ වැව් වනසන ආක්රමණික ශාක

රට රටවල අරුම පුදුම අවමංගල චාරිත්‍ර