සටහන..
සකුන්තලා ජයසිංහ
උපුටා ගැනීම – දිණමිණ
වෙළෙඳපොළේ විකිණීමට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එනමුත් පිටි කිරි පානය පුරුද්දක් කර ගත් අයට උදෑසන අවදි වු සැනින් කිරි වීදුරුවක් පානය කළ යුතුමය. ඔවුන් එයින් බලාපොරොත්තු වන්නේ අමතර පෝෂණයක් ශරීරයට එක් කර ගැනීම සහ ප්‍රබෝධමත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලීනවය. මේ නිසා පිටි කිරි පානය වෙනුවට වෙනත් පෝෂ්‍යදායි කිරි පානයක් ඇත්නම් කෙතරම් හොඳ දැයි ඔබත් සිතන්නට ඇත. මේ ඒ පිළිබඳව සිදු කළ පර්යේෂණයක සාර්ථක ප්‍රතිඵලයක් පිළිබඳ තොරතුරකි.
කිරි පිටිවලට ආදේශකයක් ලෙස සෞඛ්යාරක්ෂිත සහ පෝෂණ ගුණයෙන් යුත් ධාන්‍යමය මෝල්ට් පානයක් හඳුන්වා දීමට අනුරාධපුර පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ කළමනාකරණ ආයතනය සමත් වී තිබේ.
වසර දෙකක පමණ අඛණ්ඩ පර්යේෂණ කාලයකින් පසු ලබා ගත් සාර්ථක ප්‍රතිඵලය සහ මෙම නව අත්හදා බැලීම සම්බන්ධයෙන් එම ආයතනයේ ප්‍රධාන පර්යේෂණ නිලධාරිනි ආචාර්ය නිලන්ති විජේවර්ධන මහත්මිය මෙම තොරතුරු අප වෙත අනාවරණය කළාය.
මෙම පර්යේෂණ කාර්ය සඳහා පර්යේෂණ නිලධාරිනි බියුනි විජේසිංහ සහ මූලික පර්යේෂණ කටයුතු සඳහා ඌව විශ්වවිද්‍යාලයේ සයුරි රණසිංහ යන මහත්මීන් සම්බන්ධ වී ඇත.
ස්වභාවික රස කාරක සහ ධාන්‍ය වර්ග පමණක් යොදාගෙන වියළි පවුඩර් එකක් ලෙස සකසා ගත හැකි මෙය උණු ජලයට දිය කර පහසුවෙන් සකසා ගෙන පානයක් ලෙස ආහාරයට එක් කර ගත හැකි බව ඇය මෙහිදි සඳහන් කළාය. මුං, කුරක්කන් සහ සුවඳැල් සහල් යන ධාන්‍ය වර්ග සහ මෝල්ට් රසය එක් කර ගැනීමට ඕට්ස් මිශ්‍ර කර එය රසවත් කර ගත හැකියි. එමෙන්ම ස්වභාවික රසකාරක වන කුරුඳු හා එනසාල් සහ සීනි ද මෙම මිශ්‍රණයට එක් කර ගනී.
ඉන් පසු වියළි පවුඩර් එකක් ලෙස සකසා ගැනීමෙන් පසු කිරි පිටිවලට ආදේශකයක් ලෙස පානය කළ හැකි බැව් පර්යේෂණ නිලධාරිනිය වැඩිදුරටත් පැහැදිලි කළාය.
ප්‍රමිතියෙන් යුතුව සකසා ගන්නා මෙම ධාන්යයමය මෝල්ට් පවුඩර් මාස 08ක් පමණ කල් තබා ගත හැකි බව පර්යේෂණ ආයතනය පවසයි. තවද මෙම නව නිපැයුමට වාණිජමය වටිනාකමක් එක් කර ගැනීම සඳහා පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ හා පර්යේෂණ කළමනාකරණ ආයතනයේ පර්යේෂණ වාණිජකරණ ඒකකය ට යොමු කර ඇති අතර මෙම තාක්ෂණය සම්බන්ධයෙන් වැඩි විස්තර දැන ගැනීම එම ආයතනය අමතා තොරතුරු ලබා ගත හැකිය.
තවද බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයින් සඳහා සෞඛ්යාරක්ෂිත පානයක් ලෙස මෙය වෙළෙඳපොළ තුළ ප්‍රවර්ධනය කිරීමෙන් පාරිභෝගිකයන්ගෙන් ඉහළ ඉල්ලුමක් ද අපේක්ෂා කළ හැකිය.