අධිකරණ කටයුතුවලට බාධා කළ තිළිණි ප්‍රියමාලිට අද පොලිසියේ පෙනී සිටින්න නියෝග

හෝමාගම දිසා අධිකරණයේ සිතාසි සහ ඇස්කිසි ක්‍රියාත්මක කරන්නාගේ රාජකාරියට බාධා කරමින් අධිකරණයේ කටයුතුවලට හිතාමතා බාධා කිරීම සහ යුක්තිය ඉෂ්ඨවීම වැළැක්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකාවක බව කියන තිළිණි ප්‍රියමාලි නමැත්තියට අද (15) හෝමාගම මූලස්ථාන පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය ඊයේ (14) නියෝග කළාය.

විත්තිකාර තිළිණි ප්‍රියමාලි නමැත්තිය ඉකුත් ජුනි 16 වැනිදා අධිකරණයේ විභාගවන නඩුවක් සඳහා පෙනී සිටීමට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණෙන බැවින් එම විත්තිකාරිය වෙත ලබාදීමට නියමිත සිතාසියක් එදිනට ලබා දෙන ලෙස පැමිණිල්ල විසින් සිදුකළ ඉල්ලීමක් මත දිසා අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි එම අධිකරණයෙහි සිතාසි බෙදන්නකු වන අරුණ ප්‍රේමශාන්ත යන අය විසින් අධිකරණය ඉදිරිපිට මාර්ගයේදී එම සිතාසිය විත්තිකාරිය වෙත ලබාදී ඇත.

එම අවස්ථාවේදී විත්තිකාර තිළිණි ප්‍රියමාලි විසින් මාර්ගයේ ගමන් කළ ජනතාව ඉදිරිපිටදී සිතාසි බෙදන්නාට බැණ වදිමින් අදාළ සිතාසිය උදුරාගෙන එහි පිටුපස කුරුටුගා කිසිවක් ලියා නැවතත් සිතාසි බෙදන්නා වෙත එම සිතාසි පත්‍රය දමා ගසමින් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් බැණ වැදී ඇතැයි සිතාසි බෙදන්නකු වන අරුණ ප්‍රේමශාන්ත යන අය අධිකරණය වෙත කළ පැමිණිල්ලේ සඳහන්ව ඇත.

මේ සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසිය මගින් විමර්ශනය කටයුතු සිදු කරමින් සිටින අතරතුරදී, විත්තිකාර තිළිණි ප්‍රියමාලි යන අය ඊයේ (14) අධිකරණයේ පෙනී සිටියද ඇය පිළිබඳව පොලිස් විමර්ශනයක් සිදුකර නොමැති බවත් පොලිස් විමර්ශනයකින් සැකකරුවකු ලෙස හඳුනාගත් අයකුට පමණක් අධිකරණය වෙත පෙනී සිටිය හැකි බැවින් එම විත්තිකාරිය අධිකරණය හමුවේ පෙනී සිටීමට තම විරෝධය පළ කරන බව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සුමිත් පරාක්‍රම පෙරේරා අධිකරණය වෙත කරුණු දක්වමින් සඳහන් කළේය.

අධිකරණයේ නිලධාරියකුට සිදුවූ අකටයුත්තක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී තිබියදී ඒ පිළිබඳව විමර්ශන ප්‍රමාද වීම පිළිබඳව මෙහිදී මහෙස්ත්‍රාත්වරිය පොලිසියෙන් විමසා සිටියාය.

එහිදී පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණය වෙත කරුණු දක්වමින් පවසා සිටියේ විත්තිකාරිය සොයා කිහිප වතාවක් ඇයගේ නිවෙස වෙත ගියද විත්තිකාරිය පොලිසිය මගහරිමින් කටයුතු කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවයි.

එම අවස්ථාවේදී පොලිසිය ක්‍රියාකර ඇති ආකාරය දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කළ මහෙස්ත්‍රාත්වරිය ‘‘මෙම පැමිණිල්ල අධිකරණයේ නිලධාරියකුට සිදුවූ බලපෑමක් පිළිබඳව සිදුකර තියෙන්නේ. පොලිසියේ කාට හරි එහෙම දෙයක් වුණා නම් පොලිසිය මෙච්චර කල් බලන් ඉන්නවද? මේ විදියට අධිකරණ නිලධාරියකුට ගහලා ගියත් මොකුත් කරන එකක් නෑනේ. අවම වශයෙන් අද දිනයේවත් පොලිසිය වැඩිදුර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරලා නෑ’’ යනුවෙන් විවෘත අධිකරණයේදී පැවසුවාය.

ව්‍යාපාරිකා තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් නීතිඥ උදුල් පේමරත්න ප්‍රමුඛ නීතිඥ කණ්ඩායමක් පෙනී සිටි අතර, අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සුමිත් පරාක්‍රම පෙරේරා ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.

මූලාශ්‍රය – අරුණ

Related posts

අද අප සමරන නිදහසේ සැබෑ අයිතිකරුවන්

සේවකයින්ට අයිස් බෙදූ කොළඹ මහ නගර සභා කා.කා.ස අත්අඩංගුවට

ජනපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් හමුවෙයි